Tuesday, October 16, 2018

පාලයියාගේ කාර් හැදිල්ල.....



පාලයියා යනු කස්ටමර්ට හොඳින් සලකන පුද්ගලයෙකි.....වැඩපලට කාන්තාවක් වාහනයක් රැගෙන ආවොත් බාසුන්නැහේව උවද පන්නා දමා එම වැඩය තනිවම බාරගන්නා පාල අයියා වැඩය අවසන වාහනය සෝදා වේලා වැලෙහි වනන තරමට උනන්දුවෙන් වැඩය කරන්නෙ ඇයි දැයි මට නම් තේරුමක් නැත...මිනිසුන්ගේ සිත් ඇඳ බැඳ තබාගන්නා අයුරින් කතා බහ කිරීමේ මනා හැකියාවක් ඇති පාලයියා සමහර විට දේවදූතයෙක් ලෙසින් පෙනී ඉන්නේ වාහනය ගුවන්යානක් බවට පත්කල හැකියාවක් තමන්ට ඇතැයි පවසමිනි... කස්ටමර්ගෙන් පාලයියා අතට ගතමන්ට් එනවායැයි හැඟුනොත් මඩ වලක , මහ වැස්සක , නැතහොත් යකෙකුට වාසය කල නොහැකි තැනක ඕනෑම වාහනයක් ගලවා ගන්නේ සරීර සවුක්කය ගැනවත් නොසිතාය....මොන ජල්තරයක් හෝ දමා වාහනය යථා තත්වයට පත් කරගන්නා පාලයියා කස්ටාව භ්‍රමනය වෙන ටෝකක් දමා ගාන කපාගන්නෙ වාහනය පිලිබඳ සියලු වගකීම උගේ කරට අර ගනිමිනි....

කාන්තාවන් සඳහා මේ ක්‍රමය සම්පූර්නයෙන්ම වෙනස් කරන පාලයියා "නෝන හින්ද තමයි මම මේ වැඩේ කරන්නෙ , වෙන අයට නම් මෙහෙම කරන්නෙ නෑ"" කියා කියන්නෙ යටි අරමුනක් සිතේ තියාගෙන විය හැකිය.. සමහර විට ඒ සන්තෝශම නෝනා විසින් මුදලින් නොව වෙනත් ක්‍රමයකින් ගෙවාදමයි යන අහිංසක බලාපොරොත්තුවකින්ය... (ඔව් ඔව් එහෙම තමා😂😂පිස්සුවක් ඇතෑ නෝනට)"මොනව හරි අවුලක් තිබුනොත් මට කෝල් එකක් දෙන්නකො නෝන" කියා කියන පාලයියා නෝනාට තමන්ගේ අංකය කොල කෑල්ලක ලියා නෝනා අතට පත් කරන්නේ නෝනාගෙ ඉශ්ට දේවතාවා බවට පත්වෙමිනි..නම්බර් සීයක් මේ අයුරින් ලබා දුන්නත් පාලායියාට ඇමතුමක් එන්නේ කලාතුරකිනි...කාන්තාවන් ඉදිරියේ පාලයියාගේ රෙදිගැලවී ගොස් හතරවිලි ලැජ්ජාවට පත් උවත් නොසැලෙන පාලයියා ඊලඟට දාගත්තේ නියම ලෙඩකි.....

දිනක් අප වැඩපලට පැමිනි ටොයොටා වර්ගයේ කාරයෙන් බැස්සේ වයස අවුරුදු තිස් පහක පෙනුමැති තරමක රූමත් කාන්තාවකි...... නෝනා කාරයෙන් බසිනවාත් සමගම පාලයියා එතනට ප්‍රාදූර්භූත ඌ ආකාරය මට තවමත් සිතාගත නොහැකිය....අප දෙස රවා බැලූ පාලයියා ""අර එහා පැත්තෙ කහල ගොඩක් තියනව දවස් ගානක් තිස්සෙ අරන් දාපල්ලා""යි පැවසූ පාලයියා නෝනාට තමාගේ පවර් එක පෙන්නා මොකද මිස් අවුල කියා කතාවට වැටුනේය.....පාලයාව උස්සා පොලොවේ ගැසීමට තරම් මලපැන්නද මොකවත් නොකියා එතනින් මෙහාට ආවේ ගනුදෙනු කරුවන් ඉදිරියේ තමන්ගේ තත්වය ආරක්ශා කරගත යුතු නිසාය...
පාලයියා ස්වල්ප වේලාවකින් නෝනාගේ කාරයේ ඉදිරිපස රෝද ගලවා සියල්ල මස් කර තිබුනේ පාතගම ඉරිදා පොල වගේය...අඩුපාඩු සියල්ල සොයා බලා නෝනාත් සමගම කඩේට ගිය පාලයියා සියලුම අඩුම කුඩුම ගෙනවිත් වාහනය සකසන්නට විය.....ලෝක අන්ඩපාලයෙක් වූ පාල අයියාටම ගැලපෙන පරිදි නෝනාත් ටයරයක් මත වාඩිවී පාලයියාට සපෝට් එක ලබාදුන්නේ පාලගේ දැනුමෙන් සුවල්පයක් ඉගෙනගනිමින්ය.....ඇම්ඩන් චරිතයක් වූ නෝනා වහාම පාලයියාගේ කැරක්ටර් එක තේරුම් ගත් අතර පාලයියාව ෆෝම් කරමින් හැකි ඉක්මනින්ම කාරය සාදා නිමකරගත්තේය....සවස හතර වනවිට නෝනා සහ පාලයා අතර ගොඩ නැගුනේ සංසාර ගත මිතුරු දමක්ය....පුරුදු පරිදි නෝනාට දුරකථන අංකය දීමටත් පෙර නෝනාම පාලයියාගෙන් අංකය ඉල්ලාගෙන දුරකතනයට සේව් කරගත්තේ හදිසියකට කතාකරන්න පුලුවනිනේ කියාය.....

හවස් වරුවේ පාලයාගෙන් නෝනා ගැන විස්තර විමසූ අපට පාලයා කිව්වෙ මෙවන් කතාවකි....නෝනාගේ මහතා විදේශ ගතවී ඇති අතර නෝනා සිටින්නේ ගරාජය ආසන්නයේ කුලියට ගත් නිවසකය...නෝනා වැඩ කරන පුද්ගලික ආයතනයට යාමේ පහසුව සඳහා එහි නැවතී සිටින්නෙ නෝනාගේ පුත්‍රයාද සමගය......පුරුසයෙකුගේ හව්හරනක් නැති නෝනාගේ කාරය නෝනාට බොහෝමත්ම වටිනා අතර එය නිවැරදිව අලුත්වැඩියා කරගැනීමට පාලයියාව තෝරාගෙන ඇත....නැවත වතාවක් වාහනයට අසනීපයක් වැලඳුනහොත් පාල දොස්තර මහතා ගෙදරට කැඳවාගෙන ඒමට නෝනා තීරනය කර ඇත...යන්නය.

එතැන් සිට , සති දෙකකට වතාවක් වත් නෝනා වාහනයත් සමග ගරාජයට එන අතර නෝනා එය පාලයාට පෙන්වා අඩුපාඩුවක් තිබේනම් සකසාගෙන යන්නෙ පාලයාට පට්ට ආදරයක් පෙන්වාය...සතපනහක් වත් නොලැබුනත් පාලයාට නෝනාගේ වචන නම් ඉහටත් උඩිනි....නෝනා ගිය පසු පාලයියා ආපසු එන්නේ කට දෙපැත්තෙන් කෙල බේරෙමිනි....කාලය ගතවී යනවිට නෝනාගෙ පැමිනීම ඉතාමත් අඩු උනද පාලයාට එයනම් ගනනක්වත් නොවීය...කිහිප අවස්ථාවකදීම මේ ගැන පාලයාවෙන් විමසුවත් "මගේ කස්ටමර්ලා උඹලට වැඩක් නෑනේ කියා පාල අයියා ඩිස් මිස් වීම අපට මහත් ගැටලුවක් විය....දිනක් පාල අයියා නිවාඩුවක් ඉල්ලා සිටියේ සතියේ දිනකය...ඒ දුර බැහැර තිබූ මිතුරෙකුගේ ඥාති මලගෙදරකට සහභාගී වීමටය....වැඩ අදික වුවත් මලගෙයක් නිසා ලොක්කාගෙන් අවසරය ලබාගත් පාල අයියා පසුවදා උදේම පිටත් වී ගියේ ජැන්ඩියට ඇඳගෙනය...හවස් වන විට මහත් විඩාබර පෙනුමක් සහිතව පැමිනි පාලයියා හරි අමාරුයි බන් කියා පැත්ත වැටී සිටියේ රෑ කෑම සාදන තෙක්ය....පසුදින වැඩ ආරම්භ කල පාලයියා කාලය ගෙවී යද්දී සතියකට එක් දිනක් බැගින් නිවාඩුවක් ලබා ගන්නේ කොහේ හෝ මලගෙයක් , බන ගෙයක් , මගුල් ගෙයක් තිබෙනවා යැයි පවසමින්ය...පාලයාගේ නිවාඩු දැමීම මහත් ගැටලුවක් වූ අපේ ලොක්කා කෙතරම් අවවාද කලත් පාලයාගේ නිවාඩු දැමීම නම් නතර වූයේ නැත....සියලු වැඩ පැත්තක දමා පාලයා යන මේ ගමන ගැන සැක සිතූ මාත් ලොක්කාත් සෝදිසි වියාපාරයක් දියත් කරන්නට සැලසුම් කලේ වැඩ අවසන් වී තිබූ වෙලාවකය....

කෙසේ හෝ දින කීපයකට පසු උදෑසනම අවදි වූ පාලයා ලැට් කෝස් එක නිමකර ජැන්ඩියට හැඳ පැලඳගෙන පාරට බසින විටම මම ලොක්කාට ඇමතුමක් ගෙන සියලු විස්තර කීවේ සැලසුමේ පරිදිය....එසැනින් ක්‍රියාත්මක වූ මම වහාම ටීසෙඩ්ආරයට නැගී පාල අයියා පසු පස යන්නට විය.....ගලබඩයාගේ ආටා එකට ගොඩවූ පාලයා ##### ටවුම දෙසට ගිය අතර මාද සෙමින් සෙමින් ටවුම දෙසට ගියේ වැඩි සද්ද බද්දයක් නැතුවය...##### ටවුමෙන් බැසගත් පාලයා %%%% බසයකට නගිනු මා බලාසිටියේ ##$$$ කඩය ඉදිරිපිට සිටය.....ස්වල්ප වේලාවකින් ගමන් ඇරඹි බසය පිටුපසින් මීටර් එකසිය පනහක් දෙසීයක් දුර තබාගෙන බයිසිමොටෝව පැද්දේ පාලයා ලෝකයා බැවිනි......හරියටම ටවුමේ සිට හත්වෙනි හෝල්ට් එකෙන් බැස ගත් පාලයියා වට පිට බලා කඩ දෙක අතරින් වැටී ඇති මාර්ගය හරහා පයින් යන්නට විය...පාලයියාට යන්නට හැර මාද සෙමින් සෙමින් පාලයිය පසුපස ගියේ ඇන්ජිම නවත්වා බයිසිකලය තල්ලු කරගෙනය....මීටර් සීයක් එකසිය පනහක් පමන ගිය පසු හමුවෙන ගේට්ටුවක් සහිත තාප්පය අසලට ගිය පාලයියා ගේට්ටුවට තඩිබානු ඇසින.....""ක්ක්රෑං ටොං ටයීඊඊඊඊඊ හීඊඊඊඊක්"" ශබ්දයෙන් ගේට්ටුව ඇරුනු අතර පාලයියා එතනින් ඇතුල් වී ඇතැයි සිතා බයිසිකලය තාප්පය අයිනේ නවත්වා තාප්පෙට උඩින් ඔලුව දමා බැලුවේ පොලුපාරක්වත් වදීද දන්නෙ නෑ යයි සිතමිනි...

දර්සනය පැහැදිලිව පෙනෙන්නට විය....තරමක් විශාල ගෙවත්ත මැද නිවස පිහිටා තිබුනු අතර නිවසේ වම් පැත්තෙන් තරමක් ලොකු මඩුවක් සාදා තිබින.... ටකරම් දොරක් සහිත එම මඩුව බොහෝ විට වාහනයක් දැමීම සඳහා සැදු එකක් විය හැක...... ඇතුලට ගිය පාලයා පෙනෙන්නට නැත.....කොයිකටත් කියා බයිසිකලය පාරට ගෙනවිත් හරවා තැබුවේ සරීර සවුක්කයට එය හොඳ නිසාය.... නැවතත් තාප්පෙන් ඔලුව දමාගෙන බලා සිටින විට නොසිතූ දෙයක් සිදුවන්නට විය......කොහෙන්දෝ සොයාගත් කොට කලිසමක් සහ බැනියම් කැබැල්ලක් ඇඳගෙන එලියට ආ පාල අයියාගේ කරේ තිබුනේ පොරවකි.... තාප්පය අයිනේ තිබූ රබර් දරකොට තුන පෙරලාගෙන ආ පාල අයියා මිදුලේ පසෙකින් තබාගෙන් පලන්නට විය...යකෝ මේ මොකද මේ යකා දර පලන්නෙ මෙහෙ කියා සිතූ මාගේ පැනයට විශ්මය ජනක පිලිතුරක් ලැබුනේ පාලයියාගේ හිතවත් නෝනා තේ බන්දේසියකුත් රැගෙන පැමිනීමෙන් පසුවය...ඔය තියෙන්නෙ කතන්දරේ...😂දනිස්සට වඩා වියතක් පමන කොට සාය සහ අත් නැති හැට්ටයෙන් වැසී තිබුනු නෝනාගේ සරීර කූඩුව දුටු මාද වෙවුලවා ගියේ නෝනාගේත් මගේත් වයසේ වැරැද්ද නිසාය.....😂😂....තේ බන්දේසිය මිදුලේ තිබූ කොන්ක්‍රීට් බංකුව මත තබා එතැනම වාඩිවූ නෝනා පාලයියාට ශක්තිය ජවය ලබා දෙන්නට වූ අතර නෝනාගේ නාරිදේහය දුටු පාලායියාද යකෙකු මෙන් කොටයට පහර දෙන්නට විය......

මා , යමක් තේරෙන වයසේ සිටම ලෝක ගල් ඇම්ඩන් ඇසුරු කර ලැබූ සමාජීය දැනුම නිසා පාලයියාට සිදුවී ඇති අවනඩුව මා වහා අවබෝධ කරගත්තේය... තනිපංගලමේ සිටින නෝනා පාලයාව අන්දාගෙන ඇත... ස්ත්‍රී සැපයක් විඳ නැති පාලයියාද නෝනාගේ රූපයට රැවටී යම් සැපයක් බලාපොරොත්තුවෙන් කඹුට මෙහෙවර කර ඇත....ඇහැට කනට පෙනෙන කොල්ලන් ඕනෑතරම් සිටියදී පාලයාවම අල්ලාගත් කරුන මට වටහාගත හැකිවිය... සිදුවීම ලොක්කාට දැනුම් දුන්නේ බයිසිකලය තල්ලු කරගෙන මද දුරක් ඉදිරියට ගොස්ය...වහා ක්‍රියාත්මක වූ ලොක්කාද බයිසිකලයේ නැගී ආවේ පාලයා බෙල්ලෙන්ම අල්ලා ගැනීමේ චේතනාවෙනි... විනාඩි පහලොවක් යාමට පෙර අදාල ස්තානයට පැමිනි ලොක්කා පාලයා දර පලමින් සිටි තැනට ගියේ නෝනාවද පාලයාවද තුශ්නීම්බූත වෙද්දීය.... යකා නැග සිටි ලොක්කාගේ අමු තිත්ත කුනුහරුප වලින් පෝශනය වී තිබූ වාග් ප්‍රහාරයට ලක්වූ පාලයියා මා දෙස බැලුවේ මේ සේරටම මුල තෝ තමයි කියා සිතමින් විය හැකිය......

""හෙට ඉඳන් වැඩට එනවනම් වරෙන් නැත්තං ආයෙ පලාතක එන්න එපා""

කියූ ලොක්කා බයිසිකලයට නගින විටම මාද පාරට පැනගත්තේ මරනය අත ලඟ බව වැටහුනු නිසාය...
පසුදින උදේම වැඩපල වෙත වාර්තා කල පාලයියා එක දිගට මාසයක් පමන නිවාඩු නොදමා වැඩකලේ ජොබ් එක නැතිවේ යන බිය නිසා විය යුතුය... කෙසේ වෙතත් දින දෙක තුනක් යනතුරු මා ඉතාමත් කල්පනාවෙන් සිටියේ පාලයියාගේ ආතල් එක කැඩීම නිසා කොයි වෙලේ හෝ රිටන් එක ලැබීමට නියමිත නිසාය.... පාල අයියාගෙන් කරදරයක් නොවන බව මා දැනගත්තේ දිනක් හවස් වරුවක තේපානය සඳහා මටද ආරාධනා කල බැවිනි.....

1 comment: