Monday, August 6, 2018

මැක්ස් හෝව් හෝව්..

පාල අයියා සාමාන්‍යයෙන් තරමක අමුතු ගතිපැවතුම් ඇත්තෙකු බව දැන් ඔබට වැටහී ඇතැයි සිතමි...සාමාන්‍ය පවුලකින් පැවත එන මේ අය්යා හිටිගමන් කොළඹ කුරුදුවත්ත සාම්පලයේ වැඩද කරන්නේ හත් පොලේ ගාගෙනය...කාන්තාවන් ඉදිරිපිටදී වැඩ්ඩෙක් වීමේ අවශ්‍යතාවය පාල අයියාගේ ප්‍රදාන විනෝදාංශය විය...කාගෙන් හෝ ඉල්ලගත් පල්සරයක ඩිස්කවරියක නැග ගමටම විසිල් ගසමින් පැදීම, කෙල්ලන්ට වෙට්ටු දැමීම වගේ ගොන් ආතල් නොගත් පාල අයියා, ඒ සදහා ඩීමෝ බට්ටෙක් , හෝ පියාජියෝ ත්‍රීවීල් එකක් භාවිතා කලේය...රෙපෙයාර් එක සඳහා ලබාදෙන මේ වාහන කිහිප දිනක් තමා ලඟ තබාගත්තේ ටෙස්ට් රන් දිවීමට බව කිහිප විටක් මා සමග පවසා ඇත.. ඔහුගේ ටෙස්ට් රන් හොඳින්ම දන්නේ මමය..😂😂

කාලය මෙසේ ගෙවීයන විට පාල අයියාට මහා අනර්ඝ වස්තුවක් ලැබුනි...ඒ බාසුන්නැහේගෙ ගෙදර සිටි ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ බලු තඩියාය..
ආම්බාන් කිරීම අපහසු වීම නිසා පාල අයියාට බාසුන්නැහේගෙන් ලැබුනු මේ බලු
දන්ඩා වාසය කලේ ගරාජය පිටුපස සාදන ලද මඩුවකය...එයද පාල අයියාහේ නිර්මානයක් වන අතර අඩු වැඩිය සදහා ලී ලැබුනේ දන්නා කියන ලී මඩුවකිනි.. එක් තත්පරයක් නොසෙල් වී සිටිය නොහැකි මේ බලුරාජයා යන්තම් හෝ හීලෑ ගතියක් පෙන්නුවේ පාල අයියාට පමනි....මේ බලු සහෝදරයා ලැබීමත් සමග තමාගේ දෛනික කටයුතු වල විශාල වෙනසක් කල පාල අයියා බලු මල්ලීගේ සුබ සිද්දිය සදහා මහත් මෙහෙවරක් ඉටු කෙරුවේ විශාල ආඩම්බරයකිනි...කවුරුන් හෝ බලු තඩියා ගැන යමක් ඇසූවිට බල්ලාගේ මව , පියා දේපල , ඉඩ කඩම්, අධ්‍යාපන සුදුසු කම් වැනි සියලුම විස්තර පැවසුවේ මහත් තේජසක් මුහුනට ආරූඪ කර ගනිමිනි...😂😂

සෑම දිනකම උදෑසන අවදිවන පාලයියා බල්ලා සමග කුඩා වටයක් ඇවිදින්නට යයි... ඉන් පසු ගරාජය ඉදිරිපිට බස් නැවතුමේ, ගාමන්‍ට් බසය,පාසල් බසය. ස්ටාෆ් සර්විස් එක එන තුරු බලා සිටින නංගීලාට අක්කලාට ඇන්ටීලාට පොඩි ඇඩ් එකක් දීම අනිවාර්යය කොටසක් වේ...බල්ලාගේ නම ""මැක්ස් ""වුවද ""මැස් මැස් මෙහෙවරෙන්""මැස් මැස් ඔතනින් ඉඳගනින්"" යනුවෙන් බල්ලාට විධාන දෙමින් ඔස්කාර් සම්මාන ලාබී නලුවෙකුගේ රංගනයක යෙදෙන පාල අයියා දෙස බලා සිටීම පට්ට ආතල්ය....

දිනක් උදේ පාන්දරම අවදී වූ පාල අයියාගේ ප්‍රථ්ම රාජ කාරිය වූයේ දින ගනනක් ගොඩ ගැසී තිබුනු රෙදි කන්ද සේදීමය.... සියලුම ඇදුම් පෙරදා රාත්‍රියේ පෙගෙන්නට දැමූ පාල අයිය ඇද සිටියේ ලොකු තුවායක් සහ අත් නැති මේස් බැනියමකි....උදෑසන තේ පානය, වැසිකිලි යෑම, රෙදි සේදිම යන බාරදූර කර්තවුය නිමා කල පාල අයියාගේ ඊලඟ රාජකාරිය වූ බලු සංදර්ශනයට ලෑස්ති විය.... බලු කූඩුව වෙත ගිය පාල අයියා කූඩුව අසල තිබූ බලු දම්වැලට බලු තඩියා අමුනා ගත්තේ බවලත් උදවිය එකාදෙන්නා ගේට්ටුව අසලට පැමිනෙන්නට වූ විටය......සෙමින් සෙමින් ගේට්ටුව අසලට ගිය පාල අයියා සන්දර්ශනය පටං ගත්තේ කට්ටියට ගුඩ් මෝනින් කී පසුය.....බලු තඩියාද කිසි හැල හොල්මනක් නැතුව ඉන්නා අතර පාල අයියාද නඩය ඉදිරි පසට වී බර කතාවක වැටුනි....මේ වන විට මාද පාරට ගොස් ගරාජය දෙසට එමින් සිටියේය.....පාල අයියාගේ සංදර්ශනය මැද්දෙන් යාම නොහොබිනා කමක් වූ නිසා මා අනිත් පැත්තේ කුඩා ගේට්ටුවෙන් ඇතුල් වූයෙමි...ඇතුල් වූ පසු මටද මේ රංගනය බැලීමේ ආසාවක් හට ගත් නිසා තාප්පයේ කොන්ක්‍රීට් ගිල් එක අස්සට ඔලුව දමා ගත්තෙමි..ස්වල්ප වේලාවක් යන විට කාන්තාවන් දස දෙනෙක් පාසල් දැරියන් පහලවක් ගාමන්ට් තරුනියන් හත් අට දෙනෙකුගෙන් සමන්විත විශාල මහිලා සමිතියක සභාපති වීමට පාලයියාට හැකිවිය...... එක් වරම එහා පාරේ සිටි බල්ලන් දෙදෙනෙක් එකිනෙකා පසු පස පන්නන්නට වූයේ දරුනු ගෝරියක ඇරඹුමකටය....මෙතෙක් වෙලා නිසොල්මනේ සිටි පාලයියාගේ බලුතඩියාගේ ඇන්ජිම ස්ටාට්වූයේ එවිටය...හැටට හැටේ දුවන බල්ලන් දුටු මැක්ස්ටද උන්හිටි තැන් අමතක විය... පාල අයියාද කට දෙපැත්‍තෙන් පෙරෙන කෙල පිහ දමමින් කාන්තාවන්ගේ ලාලිතය රසවිදිමින් සිටි නිසා මේ කිසිවක් දුටුවේ නැත...මැක්ස් සියලු බලය යොදා ගමන් ආරම්භ කිරීම කිසිවෙකුටත් හිතා ගත නොහැකි ආකාරයෙන් සිදුවිය...යාන්තමට අල්ලා සිටි දම්වැල අතින් ගිලිහෙනවාත් සමගම ගැහැනු පිරිස මැදින් බල්ලා දුවනු දුටු පාල අයියාද බල්ලා පසුපස එලවන්නට පටන් ගත්තේ ""මැස් හෝව් හෝව්"" කියමින් විදුලි වේගයෙනි..... අන්දෝ සංසාරයක් නැතුව බල්ලා පසු පස අඩි දහයක පමන දුරක් එලවූ පාල අයියාට හීන් දාඩිය දැමීමට පටන් ගත්තේ බලුතඩියා බැඳ තිබූ දම් වැල කෙලවරේ පාල අයියා ඇඳ සිටි තුවාය පැටලී යනු දැකීමෙනි....එවෙලෙහි යටට ඇදුමක් නැතුව සිටි පාලයියාට දැනුනු හැගීම නම් විස්තර කල නොහැකිය... තත්පර තුනක හතරක කාලය තුල මේ සිදුවූ අලකලංචිය නිසා කාන්තාවන්ද මහත් අසීරුතාවයකට පත්වී ඇති බව දුටු අත් නැති මේස් බැනියමක් පමනක් ඇඳ සිටි පාලයියා එක්වනම එතන තිබු යමක් ඇහිදගෙන පුකට තියාගෙන පාර අයිනේ කම්බි වැටෙන් පැන්නේ පාරම්පරික කඩුලු පැනීමේ ශූරයෙකු ලෙසිනි..ලඳුකැලෑ තැලෙන ශබ්දය අනුව පාල අයියා කැලේ කඩාගෙන දිව්වේ ගරාජය පිටුපසට බව මට හොඳින්ම වැටහිනි..පාල අයියාගේ හයිජම්ප් ලෝන්ග් ජම්ප් කඩුලු පැනීම දුටු බවලත් උදවියගේ සිනාව මේ මොහොතේත් මාව අමන්දානන්දයට පත්කරනු ලැබුවේය....මේ සියල්ල හොදින් බලාසිටි මාද සිනහව නවත්වාගත නොහැකිව කොන්ක්‍රීට් ගල්ගොඩක් මත ඇදගෙන වැටුනි.

පසුව සිහි එලවා ගත් මා පපුවද අල්ලාගෙන අනිත් පැත්තෙන් ගරාජය පිටුපසට දිව්වේ පාලයියට සිදුවූයෙ කුමක් දැයි බැලීමටය....මා යන විටත් පාල අයියා පාරෙන් ඇහිද ගත් පරන ප්‍රයිඩ් රයිස් බකට් එකෙන් විලි වසාගෙන බිත්තියට හේත්තුවී හති අරිනු දුටු මට නැවත සිනහව නවත්ත්වාගත නොහැකි විය...අම්මට $&$& බලු වේ%%පුතා මාව කෑව යකෝ කී පාලයියා වට පිට බලා උඩ තට්ටුවට දිව්වේය..කොහෙන්දෝ හොයගත් කලිසමක් සහ කමිසයක් ඇඳගත් පාල අයියා එලියට බැස කොහේ ගියාදැයි මා අදටත් නොදනීය....බලුරේස් එක ගිය මැක්ස් අල්ලාගෙන විත් අපට බාරදුන්නේ අහල පහල හිතවත් මල්ලි කෙනෙකි.... දින තුනකට පසු පාල අයියා වැඩට ආවේ ගරාජය පිටුපස පාරෙනි...සතියකට පසු යමක් කමක් ඇති ගෙදරකට බල්ලා දීමෙන් පාල අයියා ලෝක ලැජ්ජාවකින් නිදහස් විය....මාස කීපයක් යනතුරු පාල අයියා ගරාජය ඉදිරිපිට කාන්තාවන් සමග අල්ලාප සල්ලාපයට ගියේ නැත..ඉන්පසු පාල අයියාගේ උදහසට ලක් වී බෝනස් වශයෙන් රාත්තල් හතේ මිටිපාරක්... යකඩ පයිප්ප පාරක්ද සමග අමුම අමු තිත්ත කුනුහරුප වැල් පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමටනම් මැක්ස් හෝව් හෝව් කිව යුතුය..........😂😂

මෙවැනි සිදුවීමකට පසුකලක නැවතත් පාල අයියා මුහුන දුන් ඒ කතාව ලගදීම බලාපොරොත්තු වන්න...😂😂😂😂😂

4 comments: