Wednesday, August 8, 2018

පාලයියාගේ පෙම්වතිය



තරුන කාලයේ පෙම් සබඳතාවක් යනු සාමාන්‍ය දෙයකි...ගැහැනු පිරිමි දෙපාර්ශවයම මේ පිලිබද වඩාත්ම උනන්දුවක් දක්වන්නේ නවය වසරදී උගන්වන උදාවූ යෞවනය පාඩමෙන් පසුවය....ඊට පෙර පොල්පිති හතෙන් පැන කප් ගැසූ එවුන්ද නැතුවාම නොවේය....උන් මේවා ඉගනගත්තේ ,ඒ ටූ ඉසෙඩ්, විවාහය, ප්‍රියාදරී, සීදේවී,වැනි අග්‍රගණ්‍ය පුවත් පත් වලිනි....එකල එවැනි පත්තරයක් ඇති එකෙකුට මහත් ගෞරවයක් හිමිවීම සාමාන්‍ය දෙයකි....පත්තර හිමියා සමග කැන්ටිමට ගොස් වඩයයි ප්ලේන්ටිය, රොටියයි ප්ලේන්ටිය ,අයිසින් කේක් කෑල්ල සමග නෙක්ටො බීම බෝතලය. රුපියල් පහේ කෝටුඅයිස් එක, වේපස් කේක් කෑල්ල සමග පැන්ටා බඩිය වැනි ඉහලම පැකේජයන් නොමිලේ ලබා දීමට අර පත්තර පාඨකයින් සැදීපැහැදී සිටින්නේ මහත්වූ බක්තියෙනි....මා දන්න අයියා කෙනෙකු මාර්ගයෙන් මෙවැනි පත්‍ර කිහිපයක් සොයාගත් මාද මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූයේ එකල එම ව්‍යාපාරය කල කිහිප දෙනෙක් සෑහෙන ධනවතුන් වනු දැකීමෙනි...... 😂😂

පසු කාලීනව මෙම අවශ්‍යතා සඳහා නවීන තාක්ශනය යොදා ගැනීමත් සමගම පත්තර , රූප කොල වැනි වියාපාර බංකොලොත් වී ගියේ හීයක වේගයෙනි... චිත්තරූප මවා ගැනීමට ඩීඩීඩී තැටිත්, කෙල්ලන් සමග කතා කිරීමට ජංගම දුරකථනත් බහුල වීම නිසා මෙය විව්ධ ආකාරයේ ජාවාරම් කරුවන්ද බිහි වෙමින් තිබූ කාලයක් විය..කිහිප අවස්ථාවකදීම පාලඅයියාත් උදාවූ යව්වනයේ මිහිර විඳින්නට උත්සාහ ගනු මා දැක ඇත්තෙමි....ඒ අසැබි දසුන් සහිත ඩීවීඩී පටත් රැගෙන ලොක්කා නැතිවෙලාවට ලොක්කගේ කාමරයට රිංගීමෙනි.. ලොක්කාගේ අගල් විසි එකේ ටැලිවිසොන් එකේ පිහිටෙන් අත් ට්‍රැක්ටර් කර්මාන්තයේ ඉහලම දක්ශතාවයක් පෙන්වමින් සිටි පාල අයියාගේ වේගවත් ධාවනය කිහිප විටක්ම මා දැක ඇත්තේ බ්ලෝවර් පෑන් එකේ කපොල්ලෙනි...
පසු කලක අත්ට්‍රැක්ටර් ධාවනය නැවතූ පාලඅයියාගේ ඊලඟ අරමුන වූයේ මහ ට්‍රැක්ටරයක් පැදවීමය....මහ ට්‍රැක්ටරයක් සැට් කර ගැනීමේ දක්සතාවයක් පාල අයියාට නොතිබුනද පාල අයියාද ගේම ලේසියෙන් අතෑරියේ නැත.....

මෙසේ කාලය ගෙවී යන අතර අපට පාල අයියාගේ කුඩා වෙනසක් පෙනෙන්නට විය....මේ හිටියා මේ නෑ වැනි සුලු වෙනසකින් ඇරඹුන පාල අයියාගේ වෙනස් වීම පසු කලක. පෝන් එක කනේ ගසාගෙන බිත්තිවල දිය සෙවල ගැලවීම තනකොල එකින් එක කඩා කෑම.... චූටි චූටි ගල් කැටවලින් කූඹි ගුල් වැසීම,කෝටුවකින් කාර් එලවීම.. ප්ලැට් නියනෙන් මිදුල අතුගෑම. ගේට්ටුවේ නැග බස් එලවීම. මුනින් අතට නිදාගෙන පස්ස හෙලවීම...සෑම කලිසම් සාක්කුවකම අඩිය ඉරා ඇතුලට අත දාගෙන සිටීම , එක්වනම යකාවේසයෙන් පහලකඩේට ගොස් රීලෝඩ් එකක් දැමීම දක්වා වර්ධනය විය...මේ සෑම විටකදීම පෝන් එක කනේ තබාගෙන සිටීම විශේශ රෝග ලක්ශනයක් විය.....මේ පුවත ඒවන විටත් මා විසින් ලොක්කාගේ කනේ තබා හමාරය..මොකක් හෝ හෙයියම්මාරුවක් අතලඟ බව මට ඉවෙන් මෙන් දැනෙන්නට විය...

මෙම රෝග ලකුනු නිසා අනිවාර්යයෙන්ම පොරට කෑල්ලක් සෙට් වී ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.......පාලයියාට හරියනවනම් අපිට සතුටුය....ඒත් මේ ගැන සොයා බැලීමනම් අත්‍යාවශ්‍ය කරුනකි....කලින් සිදුවී තිබුනු සිදුවීම් නිසා (උදාහරන වසයෙන් මංගල යෝජනාවට කෙලවූ සිද්ධිය ගත හැක.) මේ ගැන පාලයියාගෙන් ඇසීම බයානක මරනයකට හේතුවක් විය හැකිය...කෙල්ල කවුදැයි සොයා ගතහොත් ලොකු බාසුන්නැහේට කියා මඟුල ඉක්මන් කල හැකිය.... දන්න් දහම් ගැට එකසිය පනහක් දැමුවද පාලයියාගෙන් මේ ගැන දැනගැනිමට නොහැකිවිය....කෙසේ හෝ එක දිනකදී වටිනා කියන ඔත්තුවක් ආවේ පහල කඩේ අයියාගෙනි....තේ බීමට ගිය වෙලාවකදී කඩේ අයියා මගෙන් ඇසුවේ පාලයියා මේතරම් රීලෝඩ් දමන්නේ කාටද කියාය....වැඩේ හරිය ... පොටක් පෑදුනි.
කඩේ අයියාට මොත්තය දමා සියලු විස්තර ලබා ගත් මා වැඩේට බැස්සෙමි....කලයුතු හොඳම දෙයනම් පාල අයියාගේ දුරකතන ඇමතුමට සවන් දීමය..
දවල් දවසේ සිට කල්පනා කර අවසානයේදී එක් විසඳුමක් ලබා ගැනීමට හැකිවිය..
මේ දිනවල රාත්‍රිය උදා වූ විගස පාලයියා වේලපහම ඇඳට වැටේ... ඉන් පසු ගුම් ගුම් බඹර නදින් ප්‍රියම්බිකාව සමග පෙම්වදන් තෙපලන්නේය....සැලසුමේ පලමු අදියර වශයෙන් මා අද රාත්‍රියේ පිට වැඩකට යන බව පාල අයියාට දැනුම් දුන්නෙමි...ඉහේ මල් වත්තක්ම පිපුන පාලයියා වෙඩි කෑ ඌරෙක් මෙන් කඩේට ගියේ රීලෝඩ් වලින් ජංගමය සන්නද්ධ කර ගැනීමටය..වැඩේ හරිය... හිතුවාටත් වඩා හොඳින් සැලසුම වැඩ කලේය......පාලඅයියා කඩේ ගිය සැනෙකින් මා දිවගොස් පාල අයියාගේ ඇඳයටට රිංගුවෙමි.....රිංගා බිත්තිය කෙරවලට වී සිටියෙමි..විනාඩි පහකටත් අඩු කාලයකින් කාමරයට පැමිනි පාලයියා ඇඳ උඩින් ඇලවී පෙම් හටන පටන් ගත්තේය....ස්පීකර් හතේ චයිනිස් පෝන් තඩියෙන් කතාව හොඳින් ඇසෙන්නට විය...

පැයක් පමන මෙලෙස මල් කඩන අතර පසු පාලයියාගේ කෑල්ල මට නිදිමතයි සුදු මහත්තයෝ කියමින් විසි වතාවක් විතර කී පසු පාලයිය ඇමතුම විසන්ධි කර ඇඳ අසල තිබෙන කුඩා බංකුව මතින් තබා ගීතයක් තෙපලන්නට විය.....මේ වනවිට පැයකට වඩා වැඩිකාලයක් පාල අයියාගේ ප්‍රේම කතාව අසා සිටීමෙන් වටහා ගත්තේ විවාහ වූ පසු පාල අයියා අල්ලන විවිධ අඩව් වලට, පාලහාමිනේ ඒවට උස්ස උස්ස සපෝට් කරන බවත් , කෙල්ල නුවර බවත් ලඟදීම ඇය පාලයියාගෙ නගරයේ සිටින යාලුවෙකු බැලීමට එන බවත් එදිනට දෙදෙනා හමුවී පෙම්සුව විදීමට හැකි බවත්ය...තවද මේදවස් වල කෙල්ලගේ තාත්තා කෙල්ලට පොකට් මනි නොදෙන නිසා රීලෝඩ් දැමීමත් අපහසු බවය... කෙසේ වෙතත් මා මේවන විට පෙම්කතන්දරයේ උනුසුමත් ඇදයට උනුසුමත් නිසා දාඩිය වලින් නෑවී සිටියේය...එලියට යාමේ අවශයතාවය දැඩිව තිබුනත් පාලයා ඇඳ උඩ සිටීම එයට බාදාවක් විය....කෙසේ හෝ ස්වල්ප වේලාවක් යනවිට පාල අයියා ගොර අදින සද්දය මහත් සැනසුමක් විය.. ඇඳ යට සිටම අත දමා බංකුව උඩ තිබූ පාල අයියාගේ පෝන් එක ගෙන සුදු හාමිනේගේ දුක අංකය ගෙන සටහන් කර ගත්තෙමි..පොලවට නොදැනෙනසේ එලියට පැනගත් මා ඉවසාගත නොහැකි දූවිලි ගඳත් දාඩියත් නිසා පැයක් පමන නාගත්තෙමි...රාත්‍රී ආහරය ගත් පසු නින්දට ගියද ඊ ලඟට කලයුතු දේ පිලිබද සිතිය යුතුය...

පසුදින උදෑසන අදාල අංකය ඩයල් කිරීමේදී මා දුටු දෙයින් මොලේ මංඥ්ඥං වුවද සිදුවී ඇති සියල්ල මනාවට වැටහුනි....මනමාලිය කවුද යනුවෙන් හදුනාගත් මම වහාම ඉහල තැන් දැනුවත් කර ලොක්කාද සමග කඩේට ගොස් කඩේ අයියා සමග එකතුවී රීලෝඩ් හිස්ටොරිය ගනනය කිරීමෙන් පසු පාල අයියාගේ මයිල් ඉස්මයිල් විය...අපටද ක්ලාන්ත ගතියක් ඇති විය.. සති දෙකක් තුල පාල අයියාගේ ජංගමයට රුපියල් තුන්දාස් දෙසීයකුත්..පන්දාස් හාරසිය පනහක් කෙල්ලගේ ජංගමයටත් රීලෝඩ් වශයෙන් අටදාස් හයසිය පනහක මුදලක් දමා ඇත....

කෙල්ල වෙන කවුරුවත් නොව වැඩපලේ ප්ලේන්ට් වැඩක් සදහා ටෙම්පරියට පැමිනි ප්ලෙන්ට් බාසාගේ සොර අඹුවය....ඒ දිනවල ප්ලේන්ට් බාසා හන්ටර් වී සිටියේය...රී ලෝඩ් දාගැනීමට විදිහක් නැත් වීම නිසා ප්ලේන්ට් බාසා ගැසූ උප්පරවැටිය පාල අයියා ඉල්ලාගෙන කෑවේ එසේය.....පාලඅයියාත් අන්දෝ සංසාරයක් නැතුව මල් කැඩීමට ගොස් බර ගානක පාඩුවක් කර ගත්තේය..
සී අයි ඩී ගේම් දෙන්නට ගොස් මාත් ප්ලේන්ට් බාසා නයිවයිරක්කායෙකු බවට පත් කරගත්තේය...දිනක් ප්ලේන්ට් බාසා කොහේදෝ ගිය දිනක මෙම නම්බරයෙන් දුන් ඇමතුම නිසා මා එය ප්ලේන්ට් බාසා 2 යනුවෙන් සේව් කරගත්තේය....

කෙසේ හෝ පාල අයියාගෙ මුදල් පසුම්බියා බේරා දීමේ පින මට පටිසන්දුන්නෙ ඉස්තරම්ම වර්ගයේ අරක්කු බෝතලයකින් බව කිව යුතුමය....සිදුවූ පාඩුව පාල අයියා පසු කලෙක බාසාගේ පවුලගෙන් අය කරගත් බවට නිල නොලත් ආරංචි කීපයක්ම ආවේ ප්ලේන්ට් බාසා දුර බැහැර ප්ලේන්ට් වැඩකට ගිය කාලයකදීය. මේ ගැන ඇසූ විටදී ගල් පලා මද කා සිටි පාල අයියාද "මිනිස්සුන්ට කතන්දර හදන්නෙ නැතුව හිටපං" කියා හෙමීට මාරු වී ගිය අයුරුද ඉතාම සැක සහිතය...

Tuesday, August 7, 2018

‍නොමිලේ ලැබුන අලුත්ම තුවාය



සකලං සමාලයේ හිතවතුන්ගේ හුදෙක් විනෝදාස්වාදය උදෙසා ඉදිරිපත් කල පාලයියාගෙ කථාවස්තුව පිලිබඳ මහත්වූ ප්‍රේක්ෂක ප්‍රසාදයක් තිබුනත් කිනම් මොහොතක හෝ මේ පිලිබඳ පාල අයියාට ඉව වැටුනොත් ඔහු මාගේ දිවි තොර කරන ආකාරය පිලිබද කිසියම් නිගමනයකට එලඹීමට තවමත් මා අපොහොසත්ය...😂😂කොයි හැටි වෙතත් ලිවීම පිලිබද මාතුල ඇති වූ ආසාව නම් අඩුවක් නොවේ...නමුත් සෑම දිනකම පාලඅයියා පට්ට ගැසීම එතරම් සුබදායක කරුනක් නොවීම නිසා පාල අයියාට පමනක් නොව මටද සිදුවූ මෙවනි අලකලංචි ලියා තැබීමෙන් මාගේ ප්‍රානය යම් තරමකට බේරෙනු ඇතැයි සිතමි....

ගරාජයේ සිටි මුල්කාලයේ රාත්‍රී අහාර රැගෙන ගෙන ඒම මට පැවරී තිබුනු රාජකාරියක් විය....මෙය මාගේ නාගැනීමේ ක්‍රියාවලියට මහත් බාධාවක් වූයේ මෙසේය....සෑම දිනකම දහවල් කාලයේදි වැඩපල බලාගන්නා බාසුන්නැහේගෙ පුතා වැඩපල වැසූ ගමන් ගෙදර පිටත් වේ....මාද ඔහු සමග ගෙදර යායුතුය..ඔහු නාගෙන ආහාර ගන්නා අතරතුර බාසුන්නැහේගෙ බිරිද විසින් මගෙත් පට්ටලේ අයියගෙත් ආහාර බාස්කට් දෙක පිලියෙල කරයි ..ඉන් පසු මාද ඔහු සමග ඩිනර් බකට් දෙක රැගෙන ආපසු පැමිනිය යුතුවේ....මේ සියල්ලටම ගත වන කාලය පැය භාගයකි...සෑමදා මෙම කාර්යය නිසා සිදුවන පැය භාගයේ ප්‍රමාදය මට මහත් වදයක් විය....කෙසේ හෝ මේ පැය භාගයෙන් ප්‍රයෝජනයක් ගැනීමට අදහස් කලේ මෙලෙසිනි.....

ගරාජයක වැඩ අවසානයේ නා ගැනීම අමුඩය හා පුක සමාන බැඳීමකි....(පුකට පුක නොකියා දේවාලෙ කියන්නද.😂.)එබැවින් මෙන්න මේ ප්‍රමාද වන කාලය පොල්මුඩ්ඩක් සහ රින්සො පැකට් එකක් ගෙන බාසුන්නැහේගෙ ටැප් එකෙන් අත පයේ මජං ඇරීම සඳහා යොදාගැනීමට මා තීරනය කලේ ආපසු ගරාජයට ගොස් නාගැනීම පට්ට ඊසි නිසාය...ඉන් පසු සෑමදාම බත් බකට් දෙක රෙඩි වෙන තුරු අත පය හෝදාගත්තේ ගෙට පිටුපස ටැප් එකෙනි....ටික දිනකට පසු මට මහා අනර්ග වස්තුවක් ලැබුනි.... එනම් අලුත් පාටැති තුවායකි... ටික කලක සිට මෙම තුවාය තිබුනේ ගෙට පිටුපස වැසිකිලිය සහ ස්නානය සඳහා තනාතිබූ ස්ථානයේ රෙදිවැලකය...මා එය පසුදාම හොදින් සෝදා මිරිකා වේලීමෙන් අනතුරුව භාවිතයට ගත්තෙමි...දීර්ඝ කාලීන භාවිතයේ පහසුව සඳහා තුවාය එම වැලෙහිම වනා තැබීමට මා තීරනය කලෙමි..........මාස දෙක තුනක කාලයක් මේ අයුරින් තුවාය භාවිතා කලෙමි...

දිනක් පුරුදු පරිදි අතපය හොඳින් සෝදා පිසගැනීමෙන් අනතුරුව තුවායද කරේ දමාගෙන මිදුල දෙසට පැමිනියේ මිදුලේ තිබූ ජම්බු ගහෙන් ගෙඩියක් දෙකක් කඩාගෙන කෑමටය....ජම්බු ගසේ පහතම අත්තෙ තුවාය එල්ලා ජම්බු කමින් සිටින විට අමුතිත්ත කුනුහරුප දෙක තුනක් සමග කවුරුන් හෝ බැන අඬගසන සද්දයක් ඇසුනි....කොයිකටත් කියා ගේ පිටුපසට ගිය මට දැක ගැනීමට ලැබුනේ බාසුන්නැහේ වැසිකිලිය අසල සරමත් උස්සාගෙන කලබලයෙන් යමක් සොයන අයුරුය..... ලඟට කිට්ටු වූ මා ඇසුවේ බාසුන්නැහේ මොනවද හොයන්නෙ කියලා පමනි......බලපං මල්ලි මාස තුන හතරක් තිස්සෙ මෙතන වනල තිබුන තුවාය නෑනේ.. මම ඕක තියන් හිටියේ ලැට් එකට ගිහින් ඇවිත් සරම තෙමෙන හින්ඳා අඳින්න කලින් පස්ස පිහදාන්න....යකෝ දවලුත් ලැට් ගිහින් ආවට පස්සෙ මෙතන වනලා තිබුනෙ.... ඒ ඩිංගට මේක නෑනෙ....මොන හු&$&$*පුතාද මේක ගත්තෙ.....පුක පිහදාන සාලුව වැලක තියාගන්න බැරි කාලයක්...යනුවෙන් පැවසූ බාසුන්නැහේ අදාල කාර්යය සරම තුලම ඉබේ සිදුවීමට පෙර වැසිකිලියට පැන දොර වසා ගත්තේය......

!!!!!!!!!!හත්තිලව්වයි..😮.!!!!!!තුවාය...😐...............?පස්ස..😝.........අතපය..😣.............?මාස තුනක්.....😲😲........? කක්ක පැත්ත පිහුවා.....😤.........?දවලුත් පිහල තිබ්බෙ...😢😢....?මම දැන් මූනත් පිහුවනෙ.....හෑ...දෙයියනේ.....

මලම හත්තිලව්වකි...බිං දෙබරයකි...මුලු සරීරයම වෙවුලන්නට විය...ඇඟ පුරාම පලු දමන ගතියක් දැනෙන්නට විය....බඩ තුල සර්පයින් දගලන්නාසේ දැනෙන්නට විය...දයාරත්න පෙරේරා කියන්නා සේ සුවඳ හමන්නට විය....බඹරු බමන්නට විය....අහෝ දුඟද මරනය මේතරම් ඉක්මනට මා කරා පැමිනියේ කිම..... පලාතම කලුවිය...එතනම සුවල්ප වේලාවක් වාඩිවී කන්ඩියට හේත්තු වූයෙමි....... කෙටියෙන්ම කියමි....ලොක්කා දිනපතා අධෝමුඛය පිසින තුවායෙන් මා මාස තුන හතරක කාලයක් මූන අතපය පිස ඇත......දෙවි හාමුදුරුවනේ ඇයි මට මේක කලින් නොහැඟුනේ......මාස තුනහතරක් කියන්නෙ සුලුපටු කාලයක්ද.......

මල්ලී යමාං...කොතරම් වේලාවක් මා එලෙස සිටියාදැයි මතක නැත....මල්ලී යමාං... කියන ශබ්දයට මා අවදි වූයෙමි...අහෝ මා මැරී නැත...වට පිට බැලුවෙමි....අයියා බයිසිකලයටත් නැග හමාරය..දනි පනිගා කෑම බකට් දෙකත් රැගෙන බයිසිකලයට නැග්ගේ දෙවියන්ට පින් දෙමිනි..😂😂😂😂

කෙසේ වෙතත් මෙය කාටවත් නොකියා සිටීමට මම වග බලා ගත්තේ බාසුන්නැහේගෙයි මගෙ නිකැලැල් චරිතවලට සිදුවන හානිය වැලැක්වීමටය...
සමාප්තයි..😂😂😂😂

Monday, August 6, 2018

මැක්ස් හෝව් හෝව්..

පාල අයියා සාමාන්‍යයෙන් තරමක අමුතු ගතිපැවතුම් ඇත්තෙකු බව දැන් ඔබට වැටහී ඇතැයි සිතමි...සාමාන්‍ය පවුලකින් පැවත එන මේ අය්යා හිටිගමන් කොළඹ කුරුදුවත්ත සාම්පලයේ වැඩද කරන්නේ හත් පොලේ ගාගෙනය...කාන්තාවන් ඉදිරිපිටදී වැඩ්ඩෙක් වීමේ අවශ්‍යතාවය පාල අයියාගේ ප්‍රදාන විනෝදාංශය විය...කාගෙන් හෝ ඉල්ලගත් පල්සරයක ඩිස්කවරියක නැග ගමටම විසිල් ගසමින් පැදීම, කෙල්ලන්ට වෙට්ටු දැමීම වගේ ගොන් ආතල් නොගත් පාල අයියා, ඒ සදහා ඩීමෝ බට්ටෙක් , හෝ පියාජියෝ ත්‍රීවීල් එකක් භාවිතා කලේය...රෙපෙයාර් එක සඳහා ලබාදෙන මේ වාහන කිහිප දිනක් තමා ලඟ තබාගත්තේ ටෙස්ට් රන් දිවීමට බව කිහිප විටක් මා සමග පවසා ඇත.. ඔහුගේ ටෙස්ට් රන් හොඳින්ම දන්නේ මමය..😂😂

කාලය මෙසේ ගෙවීයන විට පාල අයියාට මහා අනර්ඝ වස්තුවක් ලැබුනි...ඒ බාසුන්නැහේගෙ ගෙදර සිටි ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ බලු තඩියාය..
ආම්බාන් කිරීම අපහසු වීම නිසා පාල අයියාට බාසුන්නැහේගෙන් ලැබුනු මේ බලු
දන්ඩා වාසය කලේ ගරාජය පිටුපස සාදන ලද මඩුවකය...එයද පාල අයියාහේ නිර්මානයක් වන අතර අඩු වැඩිය සදහා ලී ලැබුනේ දන්නා කියන ලී මඩුවකිනි.. එක් තත්පරයක් නොසෙල් වී සිටිය නොහැකි මේ බලුරාජයා යන්තම් හෝ හීලෑ ගතියක් පෙන්නුවේ පාල අයියාට පමනි....මේ බලු සහෝදරයා ලැබීමත් සමග තමාගේ දෛනික කටයුතු වල විශාල වෙනසක් කල පාල අයියා බලු මල්ලීගේ සුබ සිද්දිය සදහා මහත් මෙහෙවරක් ඉටු කෙරුවේ විශාල ආඩම්බරයකිනි...කවුරුන් හෝ බලු තඩියා ගැන යමක් ඇසූවිට බල්ලාගේ මව , පියා දේපල , ඉඩ කඩම්, අධ්‍යාපන සුදුසු කම් වැනි සියලුම විස්තර පැවසුවේ මහත් තේජසක් මුහුනට ආරූඪ කර ගනිමිනි...😂😂

සෑම දිනකම උදෑසන අවදිවන පාලයියා බල්ලා සමග කුඩා වටයක් ඇවිදින්නට යයි... ඉන් පසු ගරාජය ඉදිරිපිට බස් නැවතුමේ, ගාමන්‍ට් බසය,පාසල් බසය. ස්ටාෆ් සර්විස් එක එන තුරු බලා සිටින නංගීලාට අක්කලාට ඇන්ටීලාට පොඩි ඇඩ් එකක් දීම අනිවාර්යය කොටසක් වේ...බල්ලාගේ නම ""මැක්ස් ""වුවද ""මැස් මැස් මෙහෙවරෙන්""මැස් මැස් ඔතනින් ඉඳගනින්"" යනුවෙන් බල්ලාට විධාන දෙමින් ඔස්කාර් සම්මාන ලාබී නලුවෙකුගේ රංගනයක යෙදෙන පාල අයියා දෙස බලා සිටීම පට්ට ආතල්ය....

දිනක් උදේ පාන්දරම අවදී වූ පාල අයියාගේ ප්‍රථ්ම රාජ කාරිය වූයේ දින ගනනක් ගොඩ ගැසී තිබුනු රෙදි කන්ද සේදීමය.... සියලුම ඇදුම් පෙරදා රාත්‍රියේ පෙගෙන්නට දැමූ පාල අයිය ඇද සිටියේ ලොකු තුවායක් සහ අත් නැති මේස් බැනියමකි....උදෑසන තේ පානය, වැසිකිලි යෑම, රෙදි සේදිම යන බාරදූර කර්තවුය නිමා කල පාල අයියාගේ ඊලඟ රාජකාරිය වූ බලු සංදර්ශනයට ලෑස්ති විය.... බලු කූඩුව වෙත ගිය පාල අයියා කූඩුව අසල තිබූ බලු දම්වැලට බලු තඩියා අමුනා ගත්තේ බවලත් උදවිය එකාදෙන්නා ගේට්ටුව අසලට පැමිනෙන්නට වූ විටය......සෙමින් සෙමින් ගේට්ටුව අසලට ගිය පාල අයියා සන්දර්ශනය පටං ගත්තේ කට්ටියට ගුඩ් මෝනින් කී පසුය.....බලු තඩියාද කිසි හැල හොල්මනක් නැතුව ඉන්නා අතර පාල අයියාද නඩය ඉදිරි පසට වී බර කතාවක වැටුනි....මේ වන විට මාද පාරට ගොස් ගරාජය දෙසට එමින් සිටියේය.....පාල අයියාගේ සංදර්ශනය මැද්දෙන් යාම නොහොබිනා කමක් වූ නිසා මා අනිත් පැත්තේ කුඩා ගේට්ටුවෙන් ඇතුල් වූයෙමි...ඇතුල් වූ පසු මටද මේ රංගනය බැලීමේ ආසාවක් හට ගත් නිසා තාප්පයේ කොන්ක්‍රීට් ගිල් එක අස්සට ඔලුව දමා ගත්තෙමි..ස්වල්ප වේලාවක් යන විට කාන්තාවන් දස දෙනෙක් පාසල් දැරියන් පහලවක් ගාමන්ට් තරුනියන් හත් අට දෙනෙකුගෙන් සමන්විත විශාල මහිලා සමිතියක සභාපති වීමට පාලයියාට හැකිවිය...... එක් වරම එහා පාරේ සිටි බල්ලන් දෙදෙනෙක් එකිනෙකා පසු පස පන්නන්නට වූයේ දරුනු ගෝරියක ඇරඹුමකටය....මෙතෙක් වෙලා නිසොල්මනේ සිටි පාලයියාගේ බලුතඩියාගේ ඇන්ජිම ස්ටාට්වූයේ එවිටය...හැටට හැටේ දුවන බල්ලන් දුටු මැක්ස්ටද උන්හිටි තැන් අමතක විය... පාල අයියාද කට දෙපැත්‍තෙන් පෙරෙන කෙල පිහ දමමින් කාන්තාවන්ගේ ලාලිතය රසවිදිමින් සිටි නිසා මේ කිසිවක් දුටුවේ නැත...මැක්ස් සියලු බලය යොදා ගමන් ආරම්භ කිරීම කිසිවෙකුටත් හිතා ගත නොහැකි ආකාරයෙන් සිදුවිය...යාන්තමට අල්ලා සිටි දම්වැල අතින් ගිලිහෙනවාත් සමගම ගැහැනු පිරිස මැදින් බල්ලා දුවනු දුටු පාල අයියාද බල්ලා පසුපස එලවන්නට පටන් ගත්තේ ""මැස් හෝව් හෝව්"" කියමින් විදුලි වේගයෙනි..... අන්දෝ සංසාරයක් නැතුව බල්ලා පසු පස අඩි දහයක පමන දුරක් එලවූ පාල අයියාට හීන් දාඩිය දැමීමට පටන් ගත්තේ බලුතඩියා බැඳ තිබූ දම් වැල කෙලවරේ පාල අයියා ඇඳ සිටි තුවාය පැටලී යනු දැකීමෙනි....එවෙලෙහි යටට ඇදුමක් නැතුව සිටි පාලයියාට දැනුනු හැගීම නම් විස්තර කල නොහැකිය... තත්පර තුනක හතරක කාලය තුල මේ සිදුවූ අලකලංචිය නිසා කාන්තාවන්ද මහත් අසීරුතාවයකට පත්වී ඇති බව දුටු අත් නැති මේස් බැනියමක් පමනක් ඇඳ සිටි පාලයියා එක්වනම එතන තිබු යමක් ඇහිදගෙන පුකට තියාගෙන පාර අයිනේ කම්බි වැටෙන් පැන්නේ පාරම්පරික කඩුලු පැනීමේ ශූරයෙකු ලෙසිනි..ලඳුකැලෑ තැලෙන ශබ්දය අනුව පාල අයියා කැලේ කඩාගෙන දිව්වේ ගරාජය පිටුපසට බව මට හොඳින්ම වැටහිනි..පාල අයියාගේ හයිජම්ප් ලෝන්ග් ජම්ප් කඩුලු පැනීම දුටු බවලත් උදවියගේ සිනාව මේ මොහොතේත් මාව අමන්දානන්දයට පත්කරනු ලැබුවේය....මේ සියල්ල හොදින් බලාසිටි මාද සිනහව නවත්වාගත නොහැකිව කොන්ක්‍රීට් ගල්ගොඩක් මත ඇදගෙන වැටුනි.

පසුව සිහි එලවා ගත් මා පපුවද අල්ලාගෙන අනිත් පැත්තෙන් ගරාජය පිටුපසට දිව්වේ පාලයියට සිදුවූයෙ කුමක් දැයි බැලීමටය....මා යන විටත් පාල අයියා පාරෙන් ඇහිද ගත් පරන ප්‍රයිඩ් රයිස් බකට් එකෙන් විලි වසාගෙන බිත්තියට හේත්තුවී හති අරිනු දුටු මට නැවත සිනහව නවත්ත්වාගත නොහැකි විය...අම්මට $&$& බලු වේ%%පුතා මාව කෑව යකෝ කී පාලයියා වට පිට බලා උඩ තට්ටුවට දිව්වේය..කොහෙන්දෝ හොයගත් කලිසමක් සහ කමිසයක් ඇඳගත් පාල අයියා එලියට බැස කොහේ ගියාදැයි මා අදටත් නොදනීය....බලුරේස් එක ගිය මැක්ස් අල්ලාගෙන විත් අපට බාරදුන්නේ අහල පහල හිතවත් මල්ලි කෙනෙකි.... දින තුනකට පසු පාල අයියා වැඩට ආවේ ගරාජය පිටුපස පාරෙනි...සතියකට පසු යමක් කමක් ඇති ගෙදරකට බල්ලා දීමෙන් පාල අයියා ලෝක ලැජ්ජාවකින් නිදහස් විය....මාස කීපයක් යනතුරු පාල අයියා ගරාජය ඉදිරිපිට කාන්තාවන් සමග අල්ලාප සල්ලාපයට ගියේ නැත..ඉන්පසු පාල අයියාගේ උදහසට ලක් වී බෝනස් වශයෙන් රාත්තල් හතේ මිටිපාරක්... යකඩ පයිප්ප පාරක්ද සමග අමුම අමු තිත්ත කුනුහරුප වැල් පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමටනම් මැක්ස් හෝව් හෝව් කිව යුතුය..........😂😂

මෙවැනි සිදුවීමකට පසුකලක නැවතත් පාල අයියා මුහුන දුන් ඒ කතාව ලගදීම බලාපොරොත්තු වන්න...😂😂😂😂😂

Saturday, August 4, 2018

වෙද මහතාගේ ගස්ලබු කැඩීම

බාස් විත්ති උනාට මේකෙනම් ගැරිජ් එකවත් පාල අයියවත් නෑ... ඉන්නෙ මමයි පට්ටලේ අයියයි වෙන යාලුවො දෙන්නෙක් විතරයි.....එක යාලුවෙක් තමා වෙද මහතා....ගැරිජ් එකට පහලින් තිබූ ගෙදර තනියම තමයි මෙයා හිටියෙ.
අනිත් කෙනා සංගීත ගුරුතුමා...වයස් පරතරේ ලොකු වෙනසක් තිබුනත් අපේ හිතවත් කම දිගටම පැවතීමට එක හේතුවක් තිබුනා.❤️❤️❤️..ඒ තමයි අපි හතර දෙනාගෙම ක්‍රිකට් මැච් පිස්සුව.....එකෙකුට එකෙක් දෙවනි නැති දැනුමත් එක්ක හරඹ කරමින් ක්‍රිකට් මැච් බැලීම අපිට තිබුනු විශාලම විනෝදාංශයක් උනා...

මෙහිදී අපේ නැරඹුම් මැදිරිය උනේ මැදිවයස පසු කරමින් තනිවම ජීවත් වන වෙද මහතාගෙ ගෙදරයි.. දඩ පතාර ටීවී එකයි ඕන කෑමක් හදාගැනීමට ඉඩ ඇති කුස්සියයි. මදුවිත වැඩිවී හාන්සි පයිස් ගැහුවත් සද්ද දාන්න එකෙක් නැති වීමයි නිසා මේක අපට තෝතැන්නක් උනා. ඒවගේම හතරදෙනාම එකම ප්‍රමානයට මදුවිත පානය කලත් හතර දෙනාගෙ වෙරිය හතර විදියක් උනා...හයේ හතරෙ පොරක් වෙච්ච් වෙදමාමාට සොට් එකක් යනු කඩියෙකු කාපු සීන් එකකි... ඒ උනත් අපේ සංගීත ගුරුට දෙක වනන විට සරිගම පැටලී ශෘතියෙන් පැන😝😪😫😓 පුල් හින්දුස්තාන් වීම අනිවාර්යය තත්වයකි...පට්ටලේ අයියා කාලක්‍රියා කරන පොරක් බැවින් මෑන් අවුලක් නැත.... 🍷🍷🍷බීම පිටුපස පැන්නුවේ නැති උනත් මමත් ග්‍රෑම් ගනනක් දාගන්නේ මුන්ගේ විකාර වලට හොඳසිහියෙන් උත්තර දෙන්න බැරි නිසාමය.

ඔන්න දවසක් අපිට අතාරින්නම බැරි වෙච්ච මැචක් සෙට් උනා ඉන්දියාවයි ලංකාවයි ටී 20 එකක්...දිවා රාත්‍රී එකක් හින්දා දවාලෙම අවශ්‍ය කරන පාන වර්ග අඩුම කුඩුම ටික ගෙනත් ස්ටොක් කලා...හවස් වීගෙනෙ එනකොට කට්ටිය සෙට් වෙලා මැච් එක පටං ගන්නකං එකා සොට් එක එක අනුමත වෙලා
බයිට් එක හදන්න පටං ගත්තා..... හතර දෙනාගේ අදහස් අනුව හැදූ මස් කරිය හිතුවටත් වඩා කොලටියට ආවා....ඕක හදල ඉවර වෙන කොටම මැච් එක පටං ගත්තා...ටක් ගාල මස් දීසියක් අරගෙන සාලෙන් වාඩිවෙලා වැඩේට සෙට් උනා.. පුරුදු පරිදි අවශ්‍ය ප්‍රමාන වලින් අනුමත වෙමින් බයිට් කමින් ලංකාව ගහන එක දිහා බලන් හිටියා....හයේ හතරෙ පාරවල් ටිකක් වදිනව දැක්ක පට්ටලේ අයිය ඒකෙ ආතල් එකටද මන්දා රෑ කැමට මස් හොදියි ඉදි ආප්පයි කන්න යෝජනා කලා.. එහෙනම් ලංකාව ගහල ඉවර උනාම රෑ කඩේට ගිහින් අරං එමු කියල . මැච් එක ඉවර උනා විතරයි පරන පුරුදු ඇල පාර අයිනෙ ශෝට් කට් එකෙන් දාලා එන්න පිටත් උනා..ගෙයින් එලියට එනකොටම ගුරාට වැඩියි කියල අපටතේරුනත් පුරුදු වෙන පොරක් නෙවෙයිනෙ කියල ඇල අයිනෙ කෙටි පාර දිගේ ආවා.... ඇව්ත් ප්‍රදාන පාර ගාව නතර වෙච්ච අපි තීරනය කලා වෙරි අඩුවෙන්ම ඉන්න අපිදෙන්න රෑ කඩේ යන්නත් . බඩු වැඩි වෙච්ච වෙදමාමයි ගුරුයි ලගම කඩෙන් සෝඩා බෝතලයක් අරන් ආපහු යන්නත්....

ඔන්න මායි පට්ටලෙයයි යනවා රෑ කඩේ යන්න... පාලම මැදක් යනකොට වෙද මාමා මරහඩ තලන සද්දෙට අපි දෙන්න බයවෙලා ආපහු ආවා. බලනකොට අඩි පහලොවක් විතර උස ඇල කන්ඩිය අයිනෙ වෙද මාමා ගස්ලබු ගෙඩියකුත් අතේ තියාගෙන අන්න අරූ ගනින් අන්න අරූ ගනින් කිය කිය කෑගහනවා... ගුරා නෑ පේන්න....පොඩ්ඩක් විපරම් කරල බලනකොට ගුරා ඉන්නා ඇල කන්ඩියේ බඩ ගාගෙන... මොකක් නමුත් අලකලංචියක් වෙලා තියන නිසා දඩි බිඩි ගාලා මම පල්ලට පැනලා අමු හෙලුවෙන් හිටි ගුරාව ඇදල ගත්ත උඩට ...මේක යකෝ තනිකර මඩ කරියා වගේ මඩ නාලා , කෙටල ගස් බෙල්ලෙ, තනකොල කටේ , ඇදං හිටපු සරම ඇලේ.. ජොකා දාලත් නෑ.,දනිස් පොල් කටු ලෙලි ගිහින් මොන මගුලක් කරන්න ගියාද හිතාගන්න බෑ...වෙද මාමගෙන් ඇහුවම මිනිහ කියනවා පස්සෙ කතා කරමු...ඉස්සෙල්ලම මූවගෙදර අරං යමු කියලා...ඔක්කොම වැඩ පැත්තක තියලා වෙද මාමා සරමට යටින් ඇදපු කලිසමත් ගලෝලා අන්දෝගෙන මේ යකාව ගෙදරට අරන් ආවෙ මම කරේ තියාගෙන... කොහොම හරි ගේ පිටිපස්සෙ තිබුනු ටැංකිය ගාවට ගෙනිච්ච් ගුරාව නාවල මඩ හෝදල බලනකොට අත පය කැඩිල නැතත් පොඩි හීරීම් වගයක් තිබුනා...වෙද මාමගෙ කාමරේට මේකව ගෙනත් බෙහෙත් හෙම දාලා ඉවර උනාම මම වෙද මාමව පැත්තකට එක්කගෙන ගිහිං වෙච්ච දේ ඇහුවම තමා මට ඉල ඇදුනෙ....

ඇල කන්ඩිය අයිනෙ තිබුනා අඩි විස්සක් විතර උස සැපට හැදුන ගස් ලබු ගහක්... බැම්ම උඩට ආවහම ඕකෙ ගෙඩි අතින් කඩන්න පුලුවන්... පොර දවාලෙ ඔතනින් යනකොට ඉදුනු ගෙඩියක් දැක්කත් අතේ බඩු කවර වගයක් තිබුන හින්දා හවසට කඩනවා කියල හිතාගෙන ගෙදර ගියාලු.. රෑ ඉදි ආප්ප ගේන්න යන වෙලාවෙ ඕක මතක් වෙලා පොරට... අපි එතනින් ආවට පස්සෙ ගෙඩිය කඩන්න හිතාගෙන ගහ ලගට ගියත් වැස්සට ගහ ඇල පැත්තට බර වෙලා තිබිලා තියෙන්නෙ...ඒ පාර් වෙද මාමා ගුරාට අඩගහල ගහ ඇදල අල්ලගන්න කිව්වලු. ගුරත් පාංකඩේ වගේ ඉන්න ගමන් දෑතින්ම ගහේ එල්ලිලා අල්ලගෙන...වෙද මාමත් එක අතකින් ගහ අල්ලගෙන අනිත් අතින් ගෙඩිය කඩලා. හරි එහෙනම් අතාරිනව කියල ගහ අතෑරලා....වෙරි මරගාතෙ හිටපු ගුරාට ඕක ඇහිල නෑ...ඒ යකා ගහ අල්ලගෙනම ඉඳලා. වෙද මාම ගෙඩිය කඩාගෙන ගහ අතෑරියා විතරයි කෙලින්ම ගුඩු විද්ද වගේ මේ යකාව ඇල මැද්දට වීසි වෙලා...හොඳ වෙලාවට ඇලේ වතුර දනිස්සක් තරම් තමයි තිබිල තියෙන්නේ.. සරම ගැලවිලා ගිහින් කෙටලා ගාලේ දඟලපු දැගලිල්ලට ගුරාගෙ ඉනෙන් පල්ලෙ අත්‍යාවශ්‍ය අවයව ටික පලු ගිහින් තිබුනා කියල වෙදමාමා ඊලඟ මැච් එක දවසෙ මාත් එක්ක කිව්ව........
😂😂😂😂වැඩේ ලීක් උනාට පස්සෙ ගුරා ඇඟේ අමාරුවට වඩා වේදනා වින්දෙ අර සවුත්තු වෙච්ච් අවයව ටික සනීප වෙන්න ගිය කාලෙ වැඩි වීමත්, නෝන නිවාඩු ඇවිල්ල හිටපු දවස් ටිකේ යටිතල පහසුකම් කප්පාදු වීමත්,පාරෙ බැහැල යන්න බැරි වීමත් නිසා කියල අපිට හිතුන..

අරුම පුදුම බෙඩ් ටී එක


"""බඩට නැති උනත් ලුනු කැඳ ඇගට ඕනිමයි විල්ලුද"" කියල පොඩි ලමයා කියනව වගේ සමහරුන්ට මොන දේ නැති උනත් කොහොම හරි ඉශ්ට කර ගන්න ඕනි අවශ්‍යතා තියනවා...අපේ පාල අයියටත් ඕවගේ අවශයතා ගොඩක් තිබුනා... පෝන් එකෙන් යාලුවෙක්ට පැය බාගයක් විතර කතා කිරීම.. හවස වැඩ ඉවර වෙලා බියර් එකයි කොත්තුවයි.. එහෙම නැත්තං කාලයි රයිස් එකයි. සප්පායම් වීම,හොඳ පයිට් තියන දෙමල ෆිල්ම් එකක් දෙකක් බැලීම,පාරේ යන පෙනුම තියන අක්කලාගෙ පොඩි උන්ට යෝගට් අරං දීම වැනි දහසකුත් එකක් අවශයතා තමයි ඒ..
ඔය මොක නැතත් උදේට නැගිට්ට විගස පුල් ටී එකක් ගසා සිගරැට් එකක් පත්තු කරන් බොකක් දැමීමනම් පාල අයියගෙ හුස්ම ගැනීමට විතරයි දෙවනි උනෙ...මෑන් මොන තූත්තුකුඩියෙ ගියත් මේ රාජ කාරිය කිරීම අත්‍යාවශ්‍ය බව මට තේරුනේ අපේ ගෙදර ගිය දවසෙ ටොයිලට් එකෙන් ආපු හඳුනා නොගත් උහුලා ගත නොහැකි අධික දුර්ගන්ධය නිසා බව කිව යුතුමය...පරන මේස් බැනියමක් තුනට නවා මුලු මූනම වහගෙන ජීවිතකාලයේ ප්‍රථම වතාවට අම්ම විසින් ගෙදර වැසිකිලිය සෝදනු දුටු පලමු වතාවත් එයම විය..😂😂😂

දැන් කතාවට යමු....අපේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ඌ පට්ටලේ අයියා තරමක් පිලිවෙලක් ඇතුව ජීවත් වෙන පොරකි... උදේට බීමට තේ සෑදීමට, හදිස්සියේ හම්බවෙන දඩමස් පොඩ්ඩක් උයාපිහා ගැනීමට හොට් ප්ලේට් එකක් සහ මුලුතැන්ගෙයි කලමනා ටිකක් පුංච් රාක්ක පොඩියක ගානට අඩුක් කර තිබුනි.....පට්ටලේ අයියාගෙ ගම ටිකක් දුරින් පිහිටීම නිසා නිතර නිතර ගමේ යාමට නොහැකි නිසාත් තමන් හිසට තම අතමය හෙවනැල්ල කියමන තරයේ විශ්වාස කල නිසාත් එහෙම වෙන්නට ඇතැයි හිතමු....
දවසක් උදේ පාන්දර නැගිටපු මම පාර පැත්තෙ ගිහින් එනකොට වෙලාව හයටත් නෑ....පට්ටලේ අයිය ඉන්නවනම් ටී එකක් ගහලම ගිහෑකි කියල මම ඒ පැත්තට ගොඩ උනා..... උඩට ගිහින් බැලුවත් බලු බල්ලෙක් හිටපු පාටක් නෑ.
එක්කො ඕන්නෑ කඩේ ඇරියම කඩේම යනව කියල ආපහු හැරුනත් පඩිපෙල දිගේ කවුරු හරි එනව ඇහුන...එන්නෙ මොකාද මොකටද එන්නෙ කියල බලන්න ඕනි නිසා මම තඩි කබඩ් එකට මුවා උනා..බලනකොට මෙන්න අපේ පාල අයියා එනව.. හවස් වෙනකොට සෑහන ගානක් අතේ තිබුනත් රෑට පොරගෙ වියදම් වැඩි නිසා උදේට වැලේ වැල් නැතුව ඇවිත් පට්ටලේ අයියගෙ ප්ලේන්ටියට දත ගහන කතාව මම කලින් ඉදන් දන්නවා...කොයිකටත් මම තඩි කබඩ් එක මුල්ලෙ හැංගිලාම හිටියෙ ඊ ලගට මොකද වෙන්නෙ බලාගෙන... වෙනදට තේ හදල තියන ලොකු කෝප්පෙ ඇරිය. ම්හ් බඩු නෑ....පාල අයියා තේ පොඩ්ඩක් බොන්නෙ නැතුව මෙතනින් යන්නෙ නෑ කියන දැඩි අධිෂ්ඨානය පෙරදැරි කරගෙන බැලුව වටපිට...ඇනේ එල්ලලා තිබුන හීටරේ අරන් කෝප්පෙට දාල ප්ලග් එක ගහල වත්කලා ගැලුමෙන් වතුර කෝප්පෙට....

දැන් පාල අයිය තේ හදන්නයි හදන්නෙ... වතුර නටාගෙන එනකොට තමයි කෙලිය උනේ.. තේ හදන හැඳි, කෝප්ප,තේ පෙරන එක, එකක් වත් නෑ පේන තැනක..පිටි සීනි තේකොල බෝතල් තුන විතරක් තියනව රාක්කෙ.....පොර දැන් කුනුහර්පයක් කියල දත කාල ආයෙ පාරක් වටපිට බැලුව..වතුර රත් උනාට තේ නොබී පුලුවනැයි.... ඉතිං මේ වෙලාවෙ වැඩක් ගන්න පුලුවන් එකම දේ මාලු කපන පිහිය විතරයි...ඒකනම් තියනව රාක්කෙ ගහල...මම හොරාට ඔක්කොම බලාගෙනම හිටිය....😂😂😂 ඉස්සෙල්ලම ඇරිය තේකොල බෝතලේ. පිහි තලෙන් ගත්ත හැන්දක් විතර දැම්ම කෝප්පෙට. තිබ්බ පැත්තකින් සීනි බෝතලෙත් ගත්ත. දැම්ම තුන් පාරක්. ගත්ත පිටි බෝතලේ හැදි හයක් විතර දැම්ම. පදම හරි. පිහියෙන්ම කලවං කලා"කර්ර්ර්ර කට කට කර්ර්ර් කට කට" ගාල සද්දෙ ආව.... හරි දැන් නියම ගාන... දැන් පෙරන්නයි තියෙන්නෙ. ඔක්කොමත් හරි මොකෙන්ද පෙරන්නෙ , මොකේටද පෙරන්නෙ...බැලුව වට පිට හම්බ උනා කොකා කෝල හිස් ප්ලාස්ටික් බෝතලයක්... ගත්ත පිහිය කැපුව කෝප්පෙ වගේ. දොරේ වනල තිබුනු පට්ටලේ අයියගෙ සැල් දොදොල් වෙච්ච තුවායෙ කොනක් අරගෙන ගානට ටී එක පෙරුවා.. යකෝ කඩේක ටී බෝයියෙක්වත් ඒ තරම් ඉක්මනට තේ දාන්නෙ නෑ...

ඇඳ උඩින් වාඩි වෙලා ගැම්මට තේ එක බීලා සාක්කුවෙ තිබිල අස්වලාඩම වගෙ නැමිච්ච ගෝල්ඩ්ලීෆ් එක කෙලින් කරල පත්තු කරගෙන තේ හදන්න ගත්තු ඔක්කොම ආම්පන්න ටික එහෙම්ම දාල මූ ගියා යන්න ටොයිලට් කෝස් එකට.... මෙතන හිටියොත් මාවත් මේකට මාට්ටුවෙයි කියලා මම සෙනිකව මාරුඋනා... පට්ටලේ අයිය කාමරේට එනකොටම මග රැකල ඉදල මේක කිව්වට පස්සෙ තත්වෙ හරිම ශෝචනීය උනා.😂😂😂උඩ කාමරේට ගිය අයියා වට පිට බලල පහලට බැස්සෙ මාරාවේශ වෙලා මිට දිග ටින්කර් මිටියක් ඇරන් පට්ටලේ අයියා අරූ පස්සෙ පන්නන එක නතර උනේ කාමරේ සම්පූර්න අස්කරල තුවායත් හෝදල දෙන බවට දුවන ගමන් උන පොරොන්දුව නිසා කියලා පල්ලෙහා කඩේ මුදලාලි අපිට කිව්වෙ හවස තේ බොන්න ගිය වෙලාවෙදි😂😂😂

ඔන්න ඔහොමයි ටී හැදුවෙ.....😂😂😂a

මහවැලි කැලණි කලු වලවේ බෝක්කු

වයස යන්න කලින් කසාදයක් බැදපං කියන්නෙ මොකද කියල මට එච්චර ගානක් නැති උනත් පහුවෙනකොට දකින දේවල් වලින් මට එකම කාසියෙ දෙපැත්තක් පෙනුනා..කලින් බැන්දොත් මැන්ටල් වීගෙන එනකොටම ලමයි උස් මහත් වෙලා තියන නිසා ජීවන බර හෑල්ලු වෙන එක සහ හයිය ගාය තියන කාලෙ තරුන හැගීම් ගෑනීයෙක් එක්ක බෙදා ගන්න ලැබීමත් එක වාසනාවක්...එහෙම කිව්වෙ අවුරුදු දහනවයෙන් කෙල්ලෙක් උස්සපු මාමා කෙනෙක්...ඒක එක පැත්තක්...

අනික් පැත්ත තමා ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම ගෑනු ගන්නෙ නැතුව පොඩ්ඩක් නිදහසේ ඇවිදලා තරුන ජීවිතේ රසය විඳලා රටකට දෙකකට ගිහින් කීයක් හරි ඉතුරු කරගෙන අවුරුදු විසි නවයක් තිහක් වෙනකොට බයක් සැකක් නැතුව ස්තාවරයක් එක්ක කසාදයක් බඳින එක....

කොහොම හරි ඔය කියන එකේ දෙවනි එක මම තෝර ගත්තෙ අර උන මට එච්චර දරුනුවටම නැති නිසා. (නැතුවම නොවෙයි) ඔය වැඩේ කලා වගෙ නෙවෙයි ජීවන ගැටලු ටිකක් මතුවෙන කොට ගල් කොමඩ් එකේ කක්ක දාපු පූසට වෙන දේ මතක නිසා... කොහොම වෙතත් ගෑනු පරානයක් නැතුව ඔක්කොම මගේ වැඩ ටික කරගෙන මගේ ගමන මම ගියාට මාත් එක්ක වැඩ කරපු අපේ පාලයියට චීත්ත රෙද්දක අවශ්‍යතාව බරටම තිබුනා.... විසිදෙක ශ්‍රී ලොරියක වයස උනත් රැවුල කපලා කොන්ඩෙ කපලා දත් මැදලා නියපොතු ටික ග්‍රයින්ඩර් කරලා ගත්තම මූට අවුරුදු විසි හතක අටක පෙනුම ආවත් සිකුරා කුජීත වෙලා ප්ලූටෝ එක්ක අනියම් සම්බන්ධතාවක් පටන් ගත්තු නිසා ගෑනු පරානයක් හරිගියේම නැ... හැබැයි ඉතිං මූත් ගේම ඇතෑරියෙම නෑ...දකින දකින එකට ටෝක් කලා...ලංකාවෙ ඉන්න කෙල්ලන්ට නහය තියන නිසා මූව ඩෝන්ට් කෙයාර් වෙච්ච එකයි හැමදාම උනේ..
නාන්නෙ නෑනෙ මූ...😂😂😂😂😂😂
මේක ගැන කියන්න මම පස්සෙ වෙලාවක් ගන්නම්.මොකද මේක ශිශ්ටාචාරයක් ලියනව වගේ වැඩක්.... ඉතිං මූට කාන්තාවක් දැක්කොත් තනිකර දැපනෙ වැටෙන පොරක්....යකා බැඳගත්ත වගේ තමයි.... අහල පහල ඇන්ටිලාට පොල් කඩන්න ලෙලි ගහන්න දර පලන්න වගේ සමාජ සේව කටයුතුත් මේකා කරල දුන්නෙ ගෑනු දැකීමත් එක්තරා මොකක්ද එකක් වගේ නිසා වෙන්න ඇති...

ඉතිං දවසක්දා උදේ දහයට විතර වැඩ ගොඩ ගැහිල අම්මමෝ නැතුව ඉන්න වෙලාවක කැරවන් එකක් ආව යටින් සද්දයක් එනවා කියාගෙන....කොහොම හරි වාහනේ අස්සෙ රේන්ද වාටියක් තියනව දැකපු අපේ පාල අයියා බාශාව දාගෙනම එතෙන්ට ගියා...ඩ්‍රයිවරයට බහින්න බැරිවෙන්න දොරට අත තියාගෙනම මූ කතාව දැම්මෙ ඇතුලෙ හිටපු කෙල්ලො සෙට් එක හොඳට බලාගන්න අරමුනෙන් බව මං දන්නවා....😂😂😂😂
කොහොම හරි වැඩේ සැට් කරගෙන වාහනෙත් ගැරිජ් මිදුලෙ අයිනෙන් නවත්තගෙන මූ යට රිංගුවා තලගොයි ටයිප් එකෙන්. කොහොම හරි ටං ගාලා ලෙඩේ හොයාගත්තු පාල අයියා තද ටෝකක් දාලා "ඔය ඔක්කොම බහින්න වාහනෙන්...ඕක උඩ කට්ටිය දගලනකොට ඇහැට වැලි වැටෙනව "...ගෑනු ටික බැස්සුව වාහනෙන්...එහෙන් මෙහෙන් පලපු සාය කොට ටිකක් ගහපු කෙල්ලො ටිකක් වාහනේ අස්සෙ ඉදල අයිනට ගිහින් එතන තිබිච්ච අඩියක් විතර පලල එච් අයන් කෑල්ල උඩ වාඩි උනා..වාඩි වෙලා ටයිල් කැට වගේ පෝන් අරගෙන චොක්ක කොටන්න ගත්ත.....දැන් පාල අයිය තමා ලොක්ක....ගත්ත කාපට් එකක්. බලපං උඹල වැඩක් කලාට පස්සෙ මේව පිලිවලකට තියන්නෙ නෑනෙ කියල (ශෝඑකට) රෙදි කෑල්ලකින් පිහල එහෙම කැරවන් එක යටට තියල ඇවිත්.."බාසුන්නැහේ අරකෙ ජොයින්ට් පොල්ල ගලවන්න ඕනි කුරුසෙ ගිහිල්ල තියෙන්න" කියල රිංගුවා යටට....කොහොම හරි විනාඩි විස්සක් විතර ගියා...මූ තාම වෑන් එක යට.. යකෝ බොක්ස් එකක් බාන්න වෙලාව...එක පාරටම මු ආව එලියට "ඇන ඔක්කොම රවුන් වෙලා ගලවන්න වෙලා යනව" කියල යතුරක් දෙකක් අරගෙන මූ ආයෙ යටට ගියා..ආයෙත් පැය කාලක් විතර ඉඳලා මූ ආව එලියට ගත්තා නියනක් ගියා ආයෙ යටට... දැන් වැඩේට සෑහෙන වෙලවක් ගිහින් එන්ජිමක් බාන වෙලාව ඉවරයි....අපේ ලොක්කා පොඩ්ඩක් මේක ඇහැ ගහන් ඉදල පස්සෙ මට කතා කරල කිව්ව "අන්න අරූ අර වාහනේ කන්න හදන්නෙ පොඩ්ඩක් ගිහින් බලප මචං මොන මගුලක් කරනවද දන්නෑ පැය ගානක් තිස්සෙ" කියල..මාත් ඉතිං ගියා බලන්න වෑන් එක ගාවට.. පාත්වෙලා බැලුවම කියනතරම් අවුලක් ඇන වල පේන්න නැති නිසාත් කාපට් එකේ ඉඩ තිබුන නිසාත් රිංගුවා යටට..උඹ කොහෙද මේ යන්නෙ මේක මම ගලවන්නම් උඹ පලයං කියල මූ මට තග දැම්ම...මම සැලුනෙ නෑ ගත්තා දාහතරෙ යතුර දැම්ම ඇන වලට ටකස් ටොකොස් ගානකොට ඇනේ බුරුල් උනා...මොන රෙද්දක්ද බන් උඹ මේ කරන්නෙ, දාල අල්ලපං පන ඇතුව කියල යතුර දීලා මම එලියට එන්න හදනකොට තමා ලෙඩේ අහු උනේ..... 😂😂😂😂

මාත් සද්ද නැතුව එලියට ඇවිත් හිනාව කාගෙන ඉන්න හැදුවත් ඉන්න බැරි තත්වයක් උනේ ලොක්ක මොකෝ සීන් එක කියල මගෙන් අහපු හින්ද...... "ඇන ගැලවෙන් නැති ලෙඩේ තියෙන්නෙ වාහනේ නෙවෙයි වෙන තැනක" ඔන්න බලන්නකො ඕකාව එලියට ගන්න හැටි මම "කියල ගියා ලෙඩේ නිවරදි කරන්න....ලොක්කත් ආව පස්සෙන්...මම ඉතිං අර යකඩ බාර් එක ලගට ගිහින් ඒක උඩ වාඩිවෙලා හිටපු කෙල්ලන්ට කිව්වෙ වචන දෙකයි...මිස් ඔතන ඉන්න එපා ඔය උඩ තියන බෝඩ් එක දිරල තියෙන්නෙ හුලගට කඩා වැටෙයි කියල විතරයි....කෙල්ලො ටික සං සං ගාල නැගිටලා ගියා වෙන තැනකට... එසැනින් මෙන්න පාල අයිය ජොයින්ට් පොල්ලත් අරං එලියට ආව කඩිය වගේ සෑහෙන මහන්සි පාටක් පෙන්නගෙන....මොකද බන් ඇන ගැල වෙන්නෙ නැද්ද ලොක්ක අහනකොට මූ කියනවා මාර ඇනවගයක් හරි අමාරුවෙන් ගැලෙව්වෙ කියලා...😂😂😂😂මොකවත් නෙවෙයි වෙලා තිබුනෙ කෙල්ලො අර කොට සායවල් ඇඳගෙන යකඩ බාර් එක උඩ වාඩිවෙල ඉන්නකොට වෑන් එක යටට මහ වැලි කැලණි කලු වලවේ බෝක්කු සෙට් එකම මූට පෙනිල😂😂😂.ඒකයි ඇන හතර ගලවන්න මෙච්චර වෙලාගියේ ...අඩු වයසෙන් කසාදයක් කලේ නැතුවම වෙන දේවල් වල තවත් එක පැතිකඩක් එදා මට අවබෝධ උනා....... 😂😂

පොටෝ එකකින් ඇරෙන්න ගෑනු රූපයක් දැකල නැතුව මූට වෙච්ච් දේ....

ලොක්ක එදා මූට බැන්නෙ මිනිස්සුන්ගෙන් ගුටි නොකා කසාදයක් බැදපං කියලා

පාල අයියට ආ මගුල් තුලාවක්

පාල අයියාගේ වයස තිස් එකක් වනතුරුත් මගුල් තුලාවක් හරිගියේ නැති එකට අපි හැමෝම පාහේ කනගාටු උනා(31න් පස්සෙ හරිගියා ඈ).....වැඩ පලට එන හිතවතුන් හරහා ආපු මංගල යෝජනා බරගානක් පිරික්සා බැලුවත් සහකාරියක් සැට් උනේ නැති එකට පාල අයියා හිටියෙත් හිතේ අමාරුවෙන් බව අපි දැනගෙන උන්න...පොඩි අඩියක් ගහපු හැම වෙලාවෙම පාල අයියා මේ ගැන කියන විට මට ඇති උනු කනගාටුව නිසාම මාත් මේකාට මගුලක් හොයන්න උදව් උනා...

මේ කාලෙදි නිතර නිතර ත්‍රීවීල් එකකින් ගැරිජ් එකට එන තරමක වයස මාම කෙනෙක් මා සමග හිතවත් වී තිබුනා..නම ගුනරත්න ...කතාවෙන් බහෙන් සහ ක්‍රියාවෙනුත් තරමක වැදගත් පෙනුමක් තිබුනු මේ මාම ත්‍රීවීල් එකට වැල්ඩින් ඩොට් එකක් තියාගන්න....ඇනයක් තද කරගන්න වගේ පොඩි වැඩ වලට ආවත් පොඩ්ඩක් වෙලා ආගිය තොර්තුරු කතාකරල ,තේ එකක් බොමු පුතේ කියල කඩේට බලෙන් ඇදගෙන හරි ගිහින් තමා ආපහු යන්නෙ....අංකල් හරි හිතහොද මිනිහා

දවසක් හැන්දෑවක වේල පහ වැඩ ඉවර වෙලා මම අපේ අනිත් බාස් කොලුවා ධනයා(ධනංජය) එක්ක කොට තාප්පෙ උඩින් වාඩියක් දාගෙන පොඩි චැට් එකක් දාගෙන හිටියා..මෙන්න මේ වෙලාවෙ අර උඩදි කියපු ගුනරත්න මාමා වැඩ පලට ආවා...ඇවිත් මාත් එක්ක කතාවට වැටුනා....කොහොම හරි අපේ මාතෘකාව බවට පත් උනේ පාල අයියව...මම ඉතිං පාලයාගේ මේ මහා ජීවන අර්බුදය ගැන මාමට කිව්වා....වෙලාව කියන්නෙ මාමත් ඉඳල තියෙන්නෙ පාල අයියට තිබුනු ජාතියේ ප්‍රශ්නයකට මැදිවෙලා...

මාමගෙ නංගිගෙ දුවෙක් ඉන්නවලු මාමගෙ ගෙදර නතරවෙලා. මේ ගැනු ලමය පොඩි කාලෙම අම්මයි තාත්තයි (මාමගෙ නංගියි මස්සිනයි) වෙන් වෙලා ඉඳල තියෙන්නෙ....පසු කාලෙකදි මේ දෙන්නම නැතිවෙලා.... කොහොම හරි කෙල්ලව හදාගෙන තියෙන්නෙ මාමයි නැන්දයි...පර්චස් 15 විතර ඉඩමක තිබුනු කෙල්ලගෙ මහ ගෙදර කෙල්ල නමට ලියලලු තියෙන්නෙ...කෙල්ලට බදින්න හොයපු කොල්ල බින්න කසාදෙකට කැමති උනොත් හොදයි කියල තමා මාම හිතං ඉදල තිබුනෙ......මේක ඇහුන විතරයි මට හිතුනෙම මේ මගුල අපේ පාලයට ගැලපෙනව කියලමයි....මොකද මාමලෑ ගෙවල්ගාව ඉදන් වැඩ පොලට යන්න රුපියල් දොලහයි බස් එකට😂😂😂.... මූට ඉන්න ගෙයක් දොරකුත් නෑ..නෑදෑයෝ ඇත්තෙත් නෑ.. අනික මාම කාරයත් හොද මිනිහා...මූත් මාසෙකට හොද ගානක් හොයා ගන්නවනෙ.....මාමට අයිඩියා එක දැම්මම මාම කිව්වෙ එහෙනම් පුතේ මුන් දෙන්න ඉස්සෙල්ල මුන ගස්සවලා බලමු කියලයි...එදාම පාලයාගෙ කේන්දර කොපියත් දීලම තමා මම මාමව පිටත්කලේ.....
දවස් තුනකින් මාමා ආවා... පුතේ කේන්දර දෙක බැලුව ඒකනම් ගැලපෙනව කියල කිව්ව....පාලයත් මේක අහගෙන ඉදලා ලැජ්ජාවෙන් එහාට ගියේ අද ඊයෙ කොටහලු වෙච්ච කෙල්ල වගේ....නොදකිං කබරයා😂😂😂🔫
ඉතිං මාමයි මායි අපේ ලොක්කයි එකතුවෙලා පොඩි සාකච්ඡාවකින් පස්සෙ ඒකමතික තීරනේකට ආවා.. ඒ තමයි වැඩි වැල් වටාරං නැතුව හවස් වරුවක දන්න කියන එකෙක්ගෙ වාහනයක් අරගෙන කෙල්ල බලන්න යන්න... නෝමල් පොරක් නිසා මාමත් කිව්ව පුතේ එහෙනම් අහවල් දවසෙ හවස හයට විතර ඇවිත් යන එන්න කියලා...කොහොම හරි දවස උදා උනාට පස්සෙ ලොක්ක අපට වේල පහ නිවාඩු දුන්න....අපිත් ඉතිං ලෑස්ති උනා කෙල්ල බලන්න යන්න....අපි පල්ලෙහාට වෙලා වෑන් එකේ එකා එනකං හිටිය....මෙන්න බොල කවුද මන්දා දැකල පුරුදු පොරක් එනවා නිකං නළුව වගේ...අප්පට සිරි මේ පාලයියනෙ....මූ රැවුල , කොන්ඩෙ කපලා දත් මැදලා ජෙන්ටා වගේ ඇදල සපත්තු දෙකක් දාලා පාල අයියා කෙලින්ම බොලිවුඩ් නලුව වගේ...
හරි ඔන්න දැන් අපි ගියා ගෙදරට..මායි ධනයයි , පාල අයියයි...මාම බොහොම සුහදව කතා කරල ගෙට ගිහින් වාඩිවෙලා කතාව පටං ගත්තා..ටිකකින් මාම ගේ ඇතුලට ඔලුව දාලා "පුතේ ඔය තේ ටික අරං ආවනම් මේ පුතාලට" කිව්ව විතරයි කෙල්ල ආපි තේත් අරගෙන.....මායි පාලයි ධනංජයයි හිටියේ එකම සැටියෙ... පාලය ඉන්නෙ මැද....සැටිය දිහා බලපු ගමන් කෙල්ල හොල්මං...කොල්ලො තුන්දෙනෙක් ඉන්නවා. මෙතනින් කවුද යකෝ මනමාලයා.😂😂😂😂 *%* වා පුන්සදේ ලංතෑරුම ලිදේ...කෙල්ලට ලගම හිටියෙ මම.. මේකි ආවා මා ගාවට ඉස්සෙල්ලම ඇල්ලුව තේ එක මට....ගියා අනිත්පැත්තට...ඊගාවට ඇල්ලුවා ධනයට තේ එක.....මැද්දට යන්න බෑ මල්පෝච්චියක් තියනව ටීපෝ එක ගාව. මා දිහෑ හොරෙන් බලපු කෙල්ල ට්‍රේ එක ටීපෝ එක උඩ තියලා බිම බලාගෙන ගිහින් කමාරේක උලුවස්සෙ දොර රෙද්දට මුවාඋනා....කාටත් නොපෙනෙන විදිහට මා දිහා හොරෙන් බලන්න පටන් ගත්ත ගියා.....මාව හීතල වෙලා ගියා හත්තිලවෙ මේ මොකද උනේ මාමටත් උඩ බිම නැ..පාලයා දිහෑ බැලුවම මු යකාවේස වෙලා වගේ මා දිහා බලන් ඉන්නවා.... ධනංජයා වෙවුලනවා හිනාව නවත්තගෙන....😂😂😂 අයිඩියා නෑ එකෙක්ටවත්.....කෙල්ල හිතුවෙ මනමාලයා මං කියල..😂😂😂😂 කරන්න දෙයක් නෑ හතර දෙනාම මොකවත් නොවිච්ච ගානට තේ බීලා ඉවර උනාම මම මාමව පැත්තකට අඩ ගහල කිව්ව මාමෙ අපි එහෙනම් ගිහින් එන්නම් පස්සෙ වෙලාවක...ඊට පස්සෙ බලමුකො ඉස්සරහට කරන්න තියන දෙයක් නේ ද කියල යාංතං මාරු උනා....මම කොයිකටත් වාහනේ පස්සෙ සීට් එකේ වාඩි උනේ පාල අයියා මල පැනලා ඉන්න වෙලාවෙ වීල් බ්‍රශ් පාරක්වත් ඇරල දැම්මොත්. කාට කියන්නද....ගැරිජ් එකට ආපු පාල අයිය කිව්වෙ එකම දෙයයි තොපි දෙන්න ආයෙ මට මගුල් හොයන්නත් එපා මං කෙල්ලො බලන්න යනකොට තොපි දෙන්න එන්නත් එපා....😂😂😂එච්චරයි😂😂😂😂

දවසක් දෙකක් යනකොට කතාව නොදන්න එකෙක් නෑ...😂😂😂

පසුවදන..අපි ආවට පස්සෙ මාම කෙල්ලගෙන් අහල තිබුනා දුව පාලයියට කැමතිද කියලා...කෙල්ල දීපු උත්තරේ පස්සෙ කාලෙක මට ආරංචි උනේ...හාපෝ අර කොටාද මනමාලයා මම ඌට කැමති නෑ , මම හිතුවෙ අර උස අයිය කියලනෙ මාමෙ (මට😂) ..කියල කිව්වලු....මම ඕක පාලයට කිව්වෙ නෑ

අරුම පුදුම බාස්ගෙ නූඩ්ලස් කෑම.....

ගැරිජ් රස්සාව විතරක් නෙවෙයි තවත් සමහර රස්සාවල් වලදි උද්ගත වන ප්‍රශ්නයක් තමා කෑම ප්‍රශ්නෙ.....කඩෙන් කනකොට ලැබෙන ප්‍රතිලාබ, බඩේ අමාරු පර්ස් එකට තට්ටු වීම, කටවල් දෙකක් කනකොට අතරින් පතර බත් ඇට දෙකක් තුනක් කැවීම , වගේ දේවල් නිසා ගරාජ් බාස්ලා සෑහෙන පීඩා විදින බව දන්නෝ දනිති...

කොහොමින් හරි අපේ වෙලාව හොඳ කම නිසා අපේ වැඩ පලේ දවල් කෑම එක ගෙදරින් එනවාය..බාසුන්නැහේගෙ නෝනා වලලු දාපු අත් වලින් උයන නිසා දවල්ට බඩ කොර වෙලා බුරිය උල් වෙන්න කාපු අවස්තා එමටය... ඒත් දරුනු ගැටලුව රෑටය.....රෑට විවිධ විකල්ප ඇත....කොත්තුමී නූඩ්ලස් සමග තැම්බූ බිත්තර, රෑ කඩෙන් ඉඳි ආප්ප විස්සයි පරිප්පු එක...නැත්තං මහත් බල ගුන ඇති කොත්තු රොටිය, එහෙමත් නැත්‍තං පට්ටලේ අයියගෙ හොට්ප්ලේට් එකේ නිශ්පාදිත ගොඩ හොද්ද සමග පාං බාගය..ගෙදර යන්න එන්න වෙලාව ඇති උනත් මහ දුරක් නැති උනත් ගැරිජ් එකේ ලෑලි ඇදේ ඇති උනුසුම මාව නවත්තාගත්තත් කෑම ගැටලුව විටෙක මහා වාතයක් විය...කෙසේ හෝ ගල් බනිස් ගෙඩියයි කහට කෝප්පෙන් ආරම්භ වූ කෑම රුචිය පසු කලෙක ඕනෑම වලං කටුවක් කෑම දක්වා දරුනු විය......

ඔන්න දවසක් මහ වැස්ස දවසක උඩ තට්ටුවෙ ඉන්න අපි තුන්දෙනා( මමයි පට්ටලේ අයියයි අපේ පාල අයියයි) රෑ කෑමට මොකද කරන්නෙ කිය කිය ඉන්නකොට පාලයා කියනවා කොත්තු මී කමු කියල.... දැන් ටවුන් යන්නත් බැරි නිසා පල්ලෙහා කඩෙන් කොත්තු මි පැකට් හයකුයි බිත්තර හයකුයි ගේමු කියල

ඌම යෝජනා කරල ඌම සල්ලි එකතු කරල ඌම තෙමි තෙමි ගිහින් ගෙනාව...

වෙලාවත් හරියාගෙන එන හින්දා මම කිව්ව මේ ටික හදල කමු කියල... කිව්වහම මූ කියනව උඹලා කාපල්ලා මම පොඩ්ඩක් පහලට ගිහින් එන්නං කියලා..මම කිව්ව එහෙනම් උබ ගිහින් වරෙන් මම උඹගෙ ටිකත් හදල තියන්නම් කියලා.. මූ කියනවා උඹල හරියට අතක්වත් හෝදන්නෙ නෑ ඕක තියපං මම හදාගන්නම් කියල....ඊට පස්සෙ උඹ කුද ගහගනින් කියල අපි දෙන්න පැකට් හතරක් බිත්තර හතරක් අරගෙන මේක හදාගෙන කෑව...මුගෙ පැකට් දෙකයි බිත්තර දෙකයි තියල තිබ්බ....අපි දෙන්න වැස්ස නිසා පොඩි කතාවක් දාගෙන ඉන්නකොට මූ ආවා පැයකට විතර පස්සෙ....ඇවිත් බලනකොට වතුර නිවිල... මම කිව්ව හීටරේ ගහල වතුර උනු කර ගනින් කියල...හීටරේ අතට අරං කෝප්පෙට දානකොටම ලයිට් ගියා ලයිට් ගියේ දෙතුන් පාරක් ගැස්සිලා නිසා ආයෙ එන එක ෂුවර් නෑ. දැන් ඌට වතුර උණු කරන්න විදිහක් නෑ මොකද හීටරේ විතරනේ තිබුනෙ...මූට දැන් කන්න හදා ගන්න විදිහක් නෑ. මූ ඉතින් බඩගිනියි කියල නාහෙන් අඬන නිසා පව් කියලා හිතිලා මම පල්ලෙහාට ගියා ගැරේජ් එකේ පල්ලෙහා ලිපේ ගින්දර තියෙනවද බලන්න.බලනකොට වෙලාව හොඳයි ගින්දර පොඩ්ඩක් තියෙනවා. මම ඉතින් වතුර කේතලේ ත් අරගෙන පල්ලෙහාට ආවා. ඇවිත් කෙතලේ ළිපේ තියලා ගින්දර පොඩ්ඩකුත් දාලා වතුර රත් වෙනකන් හිටියා.වතුර රත් වෙලා කේතලේ අරං මම උඩට යනකොට පඩිපෙළ පාමුල කුණු බක්කියට මොකක්ද වැටෙන සද්දයක් ඇහුණා. ඒත් එක්කම පාලයියා පඩි පෙළ දිගේ පල්ලෙහාට බැහැලා යන්න යනවා .කන්නේ නැද්ද බං කියලා ඇහුවහම දැන් ඕන් නෑ බං කියලා මූ තෙමි තෙමීම එහා පැත්තට ගියා. උනු කරපු වතුර ටික අපරාදෙ කියලා මම උඩට නැග්ග....උඩට ගිහින් බලනකොට නූඩ්ල්ස් පැකට් දෙකයි බිත්තර දෙකයි නෑ... බැලුව මේ දෙකට මොකද උනේ කියලා....පේන තැනක නෑ..උඩට නගිනකොට ඇහිච්ච සද්දෙ නිසා කොයිකටත් කියලා කියල පල්ලෙහා කුණු බක්කියෙ තිබිච්ච ෂොපින් කවරෙ අරන් බැලුවා..😂😂😂 නූඩ්ලස් පැකට් දෙක කඩලා ඒකෙ තියන කුඩු පැකට් දෙක දාගෙන අමුවෙන් කාල බිත්තර දෙක බීල පට්ටලේ අයියගෙ සිගරැට් බාගෙකුත් ඉල්ලගෙන තමයි මූ ගිහින් තියන්නේ.......ඔන්න ඔහොමයි ලයිට් ගිය වෙලාවෙ පාලයියා නූඩ්ලස් කෑවෙ.......😂😂😂😂😂 පසුදින ඉතිං මේක හැමෝම දැන ගෙන තිබුනා...

මැක්කෙක්ට තියෙනවා උනක්

මැක්කෙක්ට තියෙනවා උනක් , පිස්සුවක් , ඇබ්බැහි වීමක් තමන්ගෙ විශය පථයට අදාල ගොඩක් දේ ඉගන ගන්න...ඌ ඒකෙන් තමයි තමන්ගෙ ආත්ම අභිමානය ගොඩ නගාගන්නෙ, සමාජයෙ කැපී පේන්නෙ...... කොටින්ම මම පොරක් කියන මට්ටමට එන්නෙ... ඒක තමයි ඌට තියන ලොකුම වටිනාකම..ඕක හිතට ගත්තොත් හරි.

මෙන්න මේ කාලෙ වෙනකොට මම පොඩීයට නමක් හදාගෙන හිටියෙ,අහවල් මල්ලි ගාවට යන්න ඕකා මොකක් හරි කරල දෙයි , කියන තත්වෙට.........ඉතිං
ඔන්න දවසක් අපේ වැඩ පලට හිනෝ ටිපර් එකක් ආව ඩීසල් මිස් එකක් තියනව කියල....මේක වැඩ පලවල් දෙක තුනකට ගිහින් ඩීසල් ෆිල්ටර් මාරු කරල, ටැංකි සුද්ද කරල, ලයින් සුද්ද කරල, වන්නම් දහඅටම නටල, ලෙඩේ හරි ගිහින් නෑ......ලොරිය එනකොට අපේ කථා නායක තමයි ගේට්ටුව ගාව ඉඳල තියෙන්නෙ..(ඕකා ඉන්නෙ ඔතනමයි මොකද කවුරුහරි ආවොත් ජොබ් එක අරගෙන ගානක් කපා ගන්න😂) ඈත ඉඳල එන වාහනේ සිග්නල් දානකොටම මේකා ලෙඩෙත් මීටර් කරන්, ගානත් හිතින් හදාගන්න තරම් දක්ශයෙක්....කොහොම හරි ලොරිය ආපු ගමන් ඩ්‍රයිවර් අහල තියෙන්නෙ මාව..මූ කියල ඌව වැඩක් නෑනේ උබට මොකද්ද හදන්න තියෙන්නෙ කියලා...පස්සෙ ඩ්‍රයිවර් කියල අපේ මුදලාලි කිව්වෙ ප්‍රසාද් ගාවට යන්න කියල.... කෝ නැද්ද ප්‍රසාද් කියල අහල.. ඒ ගමන මූ
කියල කොහාට හරි ගිහින් කොයි වෙලේ එයිද දන්නෙ නෑ ඔන්න ඕක නවත්තපං මෙතනින් මම බලන්නම් කියල..පස්සෙ ඩ්‍රයිවරයත් ඉක්මනට යන්න ඕනි හින්ද මූට ලෙඩේ බලන්න කියල....ඉතිං මූ ලොරියට නැගලා ස්ටාට් කරල රවුමක් දුවල ඇවිල්ල වාහනෙන් බැහැල තියෙන්නෙ ,ඉන්ජෙක්ටර්, ඉන්ජෙක්ටර් පොම්ප ඔක්කොම අනිවාර්යයෙන්ම සර්විස් කරන්න ඕනි කියාගෙන...මේ වෙලාවෙ තමයි මම තේ එකක් බොන්න පහල කඩේට ගිහින් ගැරිජ් එකට ආවෙ....ඔන්න ඉතිං ඩ්‍රයිවර් බුවා මම දන්න එකෙක්.. මං ඌත් එක්ක ඇතිවෙච්ච සංවාදය තමයි මේ.

ඩ්‍ර. ආ ප්‍රසා කොහෙද බන් ගියේ......

ම. මම ගියා බන් තේ එකක් බොන්න.... මොකෝ මේ පැත්තෙ හුග කාලෙකින්

ඩ්‍ර. සති තුනක් විතර නිවාඩු බන් වෙඩින් එක තිබ්බනෙ.....ලොරියට නැග්ගෙ ඊයෙ බන් ලෝඩ් එකක් පටවන්න යන්න හිටියෙ....මිස් එකක් ආව දුමත් එක්ක, පස්සෙ අහවලායි අහවලායි අහවලාගෙ ගැරිජ් එකේ අහවලායි බැලුව බන් කරන්න තියන ඔක්කොම කලා හරි ගියේ නෑනෙ...මුදලාලි කිව්ව මෙහෙට එවන්න කියල
ඒකයි ආවෙ.

ම. හරි එහෙනම් බලමුකො මොකද අවුල කියල...උඹ මේක සති තුනකට උඩදි නැවත්තනකොට අවුලක් තිබුනෙ නෑනේ නේද...

ඩ්‍ර. ඔව් ඔව් කිසි අවුලක් නෑ බන්...එදා නැවැත්තුවට පස්සෙ ඊයෙ තමා ස්ටාට්කලේ
ඔක්කොම බැලුව බන් හිතා ගන්න බෑ මොකක්ද කියල..අහවලා කිව්වෙ පොම්පෙයි ඉන්ජෙක්ටර් ටිකයි සර්විස් කරන්න වෙනව කියල...

එහෙනම් කැබ් එක උස්සපං මං එන්නං කියලා ආවුද කාමරේට ගියේ මේ කියන විදිහෙන්නම් කීයටවත් ඩීසල් ලයින් එකේ අවුලක් නම් වෙන්න බෑ කියල හිත හිත, කාමරේට ගිහින් අඩුවක් නියනක් අරං එනකොට මෙන්න අපේ ඩයල් එක එනවා ඉස්සරහට.....උඹ මොකද කරන්න හදන්නෙ මූ මගෙන් අහනවා....මම කිව්ව අර ටිපර් එක බලන්න යන්නෙ කියලා....

මූ කියනව උඹ ඒකෙ මොනව බලන්නද.....මම ඒක බලලා තියෙන්නෙ ඒකෙ පොම්පෙයි ඉන්ජෙක්ටරුයි සර්විස් කරන්න ඕනි මෙන්න මෙහෙ තියන වැඩක් බලාගෙන හිටපං කියල...මම ඇහුවා හොදටම ශුවර්ද කියලා...මූ කියනව යකෝ උඹල දනගාන කාලෙ අපි ඕව කලේ....ඇනයක් දෙකක් ගලවන්න පුලුවන් උනාට වාහන වාහන හදන්න බෑ...මෙන්න මෙහෙ පැත්තකට වෙලා හිටපං.... කෝමද
මුගෙ ටෝක....හපොයි කස්ටමර්ලා ඉස්සරහ මූ මාව කෑව නෙදකිං...මූ මෙහෙම කියන්න හේතුව නම් මම හොඳට දන්නවා...මොකද ලංකාවෙ ගැරිජ් වල වැඩක් කරලා ගැරිජ් එකේ බිල ගෙව්වට පස්සෙ වැඩේ කරපු බාස්ට පොඩි සම්තින් පාරක් වදිනවනෙ...මූ ඉතිං ට්‍රයි කරන්නෙ ලොකුවට සම්තිං පාර වදින කස්ටමර්ල අල්ලගන්නනෙ...මගෙ කාඩ් එක කස්ටමර් ඉස්සරහ කුඩු කලාම ඌටනෙ චාන්ස් එක....දැන් ඉතිං කට වහගෙන හිටපං කියල හිතුනත් මේකෙන් ලොකු අලකලංචියක් වෙන බව මට හිතුනා.. ගැරිජ් එකේ නමටත් මේකෙන් හානියක් වෙලා අපේ නමටත් ගල් ගහන සීන් එකක් වුනොත් වෙන තැනකට වැඩට ගන්නෙත් නෑනෙ😂.... ඔහොම හිතල මම කොයිකටත් බාසුන්නැහේට කිව්ව අහවල් වාහනේ පොම්පෙ ගලවන්න යන්නෙ ඊට කලින් අයිති කාරයට කියලම හිටියනම් හරි නේද කියල...පස්සෙ ලොකු බාසුන්නැහෙත් අයිතිකාරයට කෝල් එකක් අරං කිව්ව මෙහෙම වැඩක් තියෙන්නෙ මේක ගැලෙව්වොත් බර ගානක් යයි කොයිකටත් මුදලාලි මෙහෙට පොඩ්ඩක් එන්න කියල...ගානක් යනව කිව්ව විතරයි මුදලාලි ආවෙ රොකට් ගියර් එක දාපු පල්සරේක....මුදලාලි ආපු ගමන් අරූ ගියා ඉස්සරහට දැම්ම මුගෙ නීචකුලේ වශී ගුරුකම් හා සමාන වචනටික....ඒවට රැවටෙයිද මුදලාලි.. එයත් ගල් පලලා මද කාලා ආපු පොරක්....ඔන්න ඔය වෙලාවෙ මාත් ගියා ඔතෙන්ට....මාව දැක්ක මුදලාලි, ආ මල්ලි මොකෝ අපේ වාහන බලන්නෙ නැත්තෙ තරහ වෙලාද කියල ඇහුවා...මං ඉතිං නෑ නෑ මුදලාලි මේකෙ ලොක්ක මෙයානෙ කියල අරූව පෙන්නුව.😂එයා බැලුවම ඇති කියලත් කිව්ව...😂😂 බාසුන්නැහේ ඉන්න තැන ඕක කිව්වනම් හොඳ ස්ලෝකයක් අහගන්න තිබුන....

මුදලාලි කියනව මල්ලි වාහනේ එව්වෙ උබට බලන්න....අහවල මට කිව්වෙ උඹට මේක පෙන්නන්නකියල පස්සෙ අරූ මාව කන සයිස් එකෙන් බලලා ගියා අහකට ..මම ඉතිං ඩ්‍රයිවරයට කියල වාහනේ ස්ටාට් කරපං කියල සියලු ශිල්ප ඥානය යොදලා වැඩේට බැස්ස.....එහෙන් මෙහෙන් අත පත ගාලා බලනකොට මේකෙ තියෙන්න් ඩීසල් අවුලක් නෙවෙයි එයාර්ක්ලීනර් එකේ අවුලක් බව මට හිතුන.. කොයිකටත් කියලා
එයාර් ෆිල්ටර් එක ගලවලා බැලුවම ඒකත් හොඳයි....පොඩ්ඩක් එහෙ මෙහෙ බැලුවත් මටත් මේක හරි ගැටලුවක් උනා...ලෙඩේ හොයන්න පරක්කු වෙනකොට නෝන්ඩිවෙයිද කියල හිතිල දාඩිය පොඩ්ඩකුත් දැම්මට ඒක රස්නෙ නිසා කියල හිත හදාගෙන තවපොඩ්ඩක් අතගානකොට එකතැනක පොඩි ලෙඩක් හම්බ උනා...එතන පොඩ්ඩක් අත පත ගාල බලනකොට ලෙඩෙ මාට්ටු...විනාඩි දෙකෙන් ඉන්ලට් මැනුෆෝල්ඩ් එකේ බටේ ගලවලා බලනකොට මේන්න ලෙඩේ.... එයාක්ලීනර් එකේ ඉදන් මැනුෆෝල්ඩ් එකට එන ප්ලාස්ටික් බටේ බ්‍රැකට් එක කැඩිල චැසියෙ ඇතිල්ලිලා ලොකු හිලක් හැදිලා....ඒක අස්සෙන් ඇතුලට ගිය මීයෙක් අංග සම්පූර්න තට්ටු නිවාසයක් හදල වටේ ඉන්න මීයන්ට කුලියට දීලා..ඒතරම් ලොකුයි..මොකද වාහනේ ටික දවසක් නවත්තලානෙ තිබුනෙ...වාහනේ ස්ටාට් කලා විතරයි ශොපින් කවර පෝර උර කෑලි වලින් නිශ්පාදිත මී කූඩුව ඇදිලා ගිහින් හීට් කෝර් එකේ හිරවෙලා...ආයෙ ඉතිං ඒ ගැන කියන්න දෙයක් නෑනෙ....වාසනාවට ඉස්සෙල්ලම ශොපින් කවරෙ හිරවෙච්ච නිසා ඇන්ජිමට රොඩු ඇදලා නෑ...විනාඩි පහක් හයක් ඇතුලත මට ඔය ලෙඩේ මාට්ටු වෙනකොට අපේ අදාල පුද්ගලය ආගිය අතක් නෑ😂😂මුදලාලිට පට්ට හැපි...ඒහා සමානව යකා තද වෙලා..තවපොඩ්ඩෙන් පොම්පෙ ගලෝලා ඉන්ජෙක්ටර් ගලෝල විසි තිස්දාහක් කුඩුනෙ.....අර මට කින්ඩිය දානකොට හිටපු කස්ටමාලත් එතන ඉඳලා සීන් එක දැක්ක නෙ. ඒකෙන් මගෙ රැස්පොට්💪💪 එක තවපොඩ්ඩක් උඩගියා.. ඊට පස්සෙ ටික දවසක් යනකං මූ මගෙ වැඩ වලට අත දාන්න ආවෙ නෑ...හැබැයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජරනරජයේ රෝම ලන්දේසි නීතිය තාම හරියට ක්‍රියාත්මක වෙන නිසා අරූ මාව නිලවශයෙන් මැරුවෙ නෑ...යටින් දෙන්න තියන ඔක්කොම ගේම් දුන්න...😂😂😂😂😂😂😂

නානාප්‍රකාර බාස්ලා

බාස් කිව්වහම නානාප්‍රකාර බාස්ලා ඉන්නවා...මෙන්න මේ වඩු බාස් , මේසන් බාස් , කම්මල් බාස් , ටයිල් බාස් , අතරෙ ඉන්නවා ගරාජ් බාසූන්නැහේල කියල අමුතු ජීවියො කොට්ඨාසයක්........ බාස්ලා ප්‍රභේද කීපයක් ඉන්නව...එක ජාතියක් වැඩි කතාවක් නැතුව කරන වැඩේ හරියට කරන බාසුන්නැහේල... ඒගොල්ලො ගැන ඉතිං එහෙමට කියන්න දෙයක් නැති තරම්..ඔය අතරෙ ඉන්නව අන්දෝසංසාරයක් දන්නෙ නැතුව කටින් හදන බාස්ලා....ඕක දුවනකොට හරියයි.... අරක ගෙවුනම සද්දෙ නැතිවෙයි මාත්තයා...ඕක හදන්න බැ අලුතෙන් දාන්න ඕනි...අහවල් වාහනෙ තියන කොම්පැනි දෝශයක් ඕක....ඕන්න ඔහොම ආවුද පාවිච්චි කරලා තමයි ඒහොල්ලො වාහනෙ හදන්නෙ....වැඩක් කරල ලෙල්ල ගැහිල ගියත් ඇග බේරගන්න දන්න මේ බාස්ල ගැරිජ් එකකට නැතුවම බැ.... මොකද ඕන වැඩකට පැනල ඉදිරිපත්වෙලා බ්‍රේක් ඩවුන් වලට යන්න, පොල්පිත්තක් තියල රෙදිපටියෙන් ගැටගහගෙන හරි වාහනේ ගැරිජ් එකට අරන් එන්න දක්ශ විශේෂඥයො තමයි මේ අය...මෙන්න මේ වගේ හරි අපූරු චරිතයක් හිටියා මම වැඩ පුරුදුවීගෙන යන කාලෙ...කතා එද්දාස් පන්සීයකට විතර වස්තු බීජය වෙච්චි මේ පොර ඕන වැඩකට ඔලුව දාගෙන යන්නෙ ලොකු බාසුන්නැහෙත් උගේ ගාව ගෝල පඩියට වැඩ කරන ලෙවල් එකෙන්.....එහෙනම් කතාවට යමු....

දවසක් උදේ පාන්දර හතාමාරට ගැරිජ් එකේ දොර අරිනකොටම මෑන්ස් කෙනෙක් ඉන්නවා දොරකොඩ හිටගෙනම.....දොර ඇරල සොයිබෙ දාන්නත් කලින් පොර දුක් ගැනවිල්ල පටං ගත්තා මෙහෙම....අනේ බාසුන්නැහේ ඇඹිලිපිටියෙ ඉදල එන්නෙ කොලඹ යන්න හිතාගෙන එලවලු ලෝඩ් එකත් එක්ක වාහනේ නතර උනානෙ අර කන්ද මුදුනෙදි. ගියර් එකට දාලා කච් එක දුන්නට වාහනේ යන්නෙ නෑ ඩක ඩක ගාල සද්දයක් ඇහෙනවනෙ... ගිහින් බලමුද කියල ...බාසුන්නැහේ කිව්ව පොඩ්ඩක් ඉන්නවකො වැඩ පල ඇරිය විතරනෙ කියල...වැඩ කරන කෙනෙක් එනකං කියල......ඒ මොහොතෙම ඔන්න අදාල පුද්ගලය එනව මෙතෙන්ට, සිගරැට් එකත් පත්තු කරගෙන ලෝඩ් මෑන් වගේ...මුගෙ ඉව කියන්නෙ අර මෑන් දැක්ක විතරයි, ආ අයියෙ මොකෝ අවුල...වාහනේ කැඩිලද ඇහුව...ඔව් නෙ මල්ලි අර කන්ද මුදුනෙ තියෙන්නෙ පොඩ්ඩ්ක් යමුද....කියන පරක්කුවට ආ යං යං කියල ඔක්කොටම කලින් පාරෙ එහා පැත්තෙ පාක් එකේ ත්‍රීවීල් එකක් සෙට් කරගෙන ආවුද ටිකත් පටෝගෙන මූ ලෑස්තිවෙල ... කොහොම හරි ඉතිං මේකා අර මනුස්සයවත් දාගෙන ගියා වාහනේ තියන තැනට.... ගිහින් පැය කාලක් ගියෙත් නෑ මූ ආවා සෙනිකව ගැරිජ් එකට. ආපු ගමන් ගැරිජ් එකේ තියන ඔක්කොම ලීවර්, පයිප්ප, ටයර් ලිවර් ,පට්ටලේ වැඩ වලට ගෙනාපු ශාප්ට්, මිටි ,කුලුගෙඩි සියල්ලක්ම පටෝගෙන ආයෙ යන්න හදනකොට බාසුන්නැහේ ඇහුව මොකද යකෝ වෙලා තියෙන්නෙ කියල....මූ සෙනිකව" ඇස්සලේ කැඩිලා තියෙන්නෙ අනිත් පැත්තෙන් ගහල ගලවන්න ඕනි කියල ආව වේගෙන්ම ආපහු ගියා...මාත් ඉතිං පොඩ්ඩක් අතුපතු ගාල ලොකුවට වැඩකුත් නැති නිසා පට්ටලේ පැත්තට වෙලා හිටියා.... පැයක් දෙකක් විතර ඔහොම ගියා.......
මෙන්න මෑන් එනවා ආයෙත් දාඩිය පොල්ල දාගෙන... මමත් ඉතිං ලගට ගිහින් මචං මොකෝ අවුල හෙල්ප් එකක් ඕනිද කියල ඇහුව.... මූ කියනවා හා හා උඹ පැත්තකට වෙලා හිටපං මං ඒක කරගන්නම් කියල....මටත් ඕන්නැති අලගෙඩියක් අහන්න ගිහින් මදැයි අහගත්තු එක කියල මං පැත්තකට උනා.... ටික වෙලාවකින් බාසුන්නැහේ ඇවිත් මූත් එක්ක කතාව.... මම පොඩ්ඩක් අහන් හිටිය.... මූ කියනව " බාසුන්නැහේ ඇස්සලේ කැඩිලා ඇතුලෙ හිරවෙලා තියෙන්නෙ අනිත් පැත්තෙං ගැහුව ගැහුව එන්නෙ නෑ .. ටියුබ් එක බාන්න වෙයි... මොකද කරන්නෙ ඇදගෙන එන්නද....බාසුන්නැහේත් " එහෙනං ඇදගෙන එනවකො කියල කිව්ව....මූ දැන් මට පේන්න ඩ්‍රයිවර් එක්ක කතාව" මේව ඇබරිලා ගියාම ගලවන්න අමාරුයි.....මේව හැමෝටම කරන්න පුලුවන් කමක් නෑ...මම විතරයි ඉතිං මේ හරියෙ ඕවට ඉන්න එකම බාස්...ඔහොම කියල තව ලොරියකුත් අරගෙන මේ ලොරිය ඇදගෙන ආව ගැරිජ් එකට.......දැන් මේකා රෝද නට් ටික හෙම බුරුල් කරල යූ බෝල්ට් ටික ගලවන්න යටට ගියාම මම නිකමට බැලුව සීන් එක මොකක්ද කියල....දකුනු පැත්තෙ ඇක්සලේ කැඩිල අඟල් හතරක් විතර ඇතුලෙන් කෑල්ල තියනව පේන්නම....ඒදවස් වල මටත් මොකක් හරි එකක් දැක්කොත් ඕකට කෝටුවකින් හරි අනින් නැතුව නිකං ඉන්න බැරි ලෙඩක් තිබුන...මං හෙමීට අතේ තිබුන දිග ප්ලැට් නියනෙන් අරකට පොඩ්ඩක් දාල හෙලෙව්ව බලන්න.... මෙන්න බොල මේක හෙලවෙනව.....මෙතන මොකක් හරි කෙලියක් වෙලාතියනව කියල හිතුනු හින්ද පටස් ගාල දුවල ගිහින් හයිය කම්බි කෑල්ලකින් රවුමක් නවල ගෙනත් අර ඇක්සල් කෑල්ලට දාලා නියනට පටලවලා ඇද්ද.....යුරේකා කියල මෙන්න බොල ඇක්සලේ ආව එලියට.....මට එසැනින් තේරුනා වෙච්ච හරිය. ටක් ගාලා ඇක්සල් ටියුබ් එකේ ඇතුල බැලුවම පේනව ඩිපරන්සල් එකේ ස්පයිඩර් වීල් වල කුරුසෙ........අරූ පන යනකං අනිත් පැත්තෙන් යකඩ කෑලි දදා ගහල තියෙන්නෙ අර කුරුසෙට😂😂....පැය හතරක් විතර පාර අයිනෙ, ගිනි අව්වෙ කොහොමද කාපු කට්ට....මූ මට දාපු නෝන්ඩියට රිටන් එකක් වශයෙන් එක්ක බාසුන්නැහේට වැඩිපුරත් එක්ක දාල කතන්දරේ කිව්වම බාසුන්නැහේ මූට බනින්න පටං ගත්තු එක නැවැත්තුවෙ සතියක් විතර ගිහින්....