Saturday, November 3, 2018

කට්ට කරෝල හොදිත් එක්ක කොස්....


දැනගෙන ගියොත් කතරගමය.... නොදැන ගියොත් අතරමගය.... යමක් දැන ගෙන කලොත් ගොඩය.... නොදැන කලොත් අංගොඩය.... අකුරු දන්නා ගුරුන්ටත් වැඩ වරදින කල නොදන්නා ගුරු , අඟුරු වන බව අතිශයෝක්තියකින් කිවයුතු නැත... නොදන්නා දෙමලෙට වරිගෙ නහගන්න එපා යැයි කවුරුන් හෝ කියා ඇත.... පන්ඩිතයාට ඒදන්ඩේ යන්නට බැරිය.... ඊට හේතුව කුමක් දැයි මම තවම සොයමි.... කෙසේ වෙතත් මලයාට සහ පාලයාට කිසිදිනෙක ඒ දන්ඩේ යාමට නොහැක... එයට හේතුව අනිත් උන් ඇවිදන් යන ඒදන්ඩ උඩ උන් දෙන්නා බල්ටි ගසමින් යාමට උත්සාහ කිරීමය.... මාගේ දිවිය අවසාන වීමට වීමට පෙර මලයා සහ පාලයා එක් තැනකට එකතු කර පොඩි ආතල් එකක් ගැනීමේ ආසාවක් ඇත.... කෙසේ වෙතත් අටංපහිය ගැන ඔවුන් දැනගත හොත් ඔවුන් එකතු කිරීමට මා වෙහෙස විය යුතු නැත... ඔවුන් සිය කැමැත්තෙන්ම එකතුවී මාගේ සසර ගමන කෙටි කර දීමේ දානමය පුන්යකර්මය සිදු කරනු ඇත.... කෙසේ වුවත් දැන්නම් මට හොඳටම කෙල වී ඇත... මුන් දෙන්නා ගැන නොලියුවහොත් අටම්පහියන් මාව මැටියෙන් අඹනු ඇත.. මුන් දෙන්නා මේ ගැන දැනගතහොත් මා සොහොන් ගත වනු ඇත... කොතරම් කෙලවුනද ලිවීම නතර කලනොහැක...
කාර්මික විදුහලේ වැඩ අඩු දිනවල අපගේ ප්රධානම කාර්යය වූයේ කුරුවා , කවියා, වෙලා, හපයා, යන විද්වත් මන්ඩලයේ ගජබින්නාලංකාරය පාඩම අසා සිටීමය.... බරක් පතලක් නොදැනෙන කොලු වයසේ සිටි අප සැමට එම කාලය ගෙවුනේ කිසිදා නොමැකෙන මතක සටහන් රාශියක් සිත් තුල ගබඩා කරමිනි... වැලි කතරේ ගත වූ කාලය තුල ඉඳහිට දිනෙක මතකයට නැගි මලයා , පාලයා, සහ තවත් අපූරු චරිත කිහිපයක් නිසා මාගේ අතීත කාමය ඇවිස්සුනද එය අකුරු කිරීමට සිත දුන්නේ ගිහාන් බාසුන්නැහේගෙ කතන්දර නිසා බව කිව යුතුමය... අටමාගේ අටම්පහිය (සකලංසමාලෙ) තුල වාසය කල විනෝදයට බර ජීවීන් එයට දුන් රුකුලද අමතක වී නැත... එකී මෙකී නොකී උන්ගේ සුඛ විවරනය සඳහා මලයාගේ තවත් එක් වීරක්රියාවක් මෙසේ ලියන්නට අදහස් කලේ රුපියල් දහතුන්දාහකට වඩා වැඩි මිලකින් යුතු දැවන්ත කොස් ගෙඩියක් ලුලු මාකට් එකේ විරාජමාන වී තිබෙනු දැකීමෙනි...
දිනක් දහවල් ආහාරය සඳහා පන්ති කාමරයේ යුද වදිම්න් සිටි අපට අගනා කෑමක් හමුවිය.... එනම් ලේනා විසින් ගෙන එන ලද කට්ටා කරවල හොදි පැකට්ටුවත් කදිමට තැම්බූ කොස් පාර්සලයත්ය.... එක එකා ගෙනවිත් තිබූ බත් මුල් , ඉඳි ආප්ප මුල් සියල්ල එකට කලවම් කර කොස් පොඩ්ඩක්ද උඩින් දමා වෙහෙරක් සෑදූ අප එය අවසන් කලේ තත්පර ගනනකින්ය... ආහාර ගැනීමෙන් පසු බංකු ලෑල්ලෙ පත බෑවී දෙඩූ පුරසාරම් වල ප්රධාන මාතෘකාව වූයේ කොස් පාර්සලය සහ කට්ටා කරවල හොද්දය... ලේනා ගේ මව පොලෙන් ගෙනවිත් තිබූ කට්ටා කරවල කෑල්ල රසට උයා තිබුනාය.... තැම්බූ කොස් පාර්සලයද එයට දෙවනි නොවීය.....
කුරුවා = මචං කොස් ටිකනම් මරු බන්... කාලෙකින් සෙට් උනේ...
වෙලා = ඔව් බන් අපේ වත්තෙත් කොස් ගහක් තියෙනවා කඩන්න එකෙක් නෑනෙ.
තෙප්පා = අපේ අම්මත් මේ ලගදි කොස් තැම්බුවා බන් හැබැයි හොද්ද කොලටි නෑ..
හපයා = ලේනෝ උඹලෑ ගෙදර තව නැද්ද බන් කට්ට කරෝල.....
ලේනා = තව ටිකක් තිබුනා බන්... අපේ තාත්තට කරවල කෑල්ලක් හැපුනෙ
නැත්තං බත් බෑ... ඒක හින්දා අපේ ගෙදර කරවල වරදින්නෙ නෑ....
හපයා= එහෙනම් යකෝ හෙට එනකොට කොස් ගෙඩියක් තම්බගෙන හොද්දකුත්
හදාගෙන වරෙන්...
ලේනා = අනේ මේ නිකා හිටපං මෙතන ඉන්නවා පහලොවක් විතර... අපේ අම්මට
කොස් තම්බ තම්බ ඉන්න වෙලාවක් නැ... අක්කගෙ පොඩි එකා බලා ගන්න
තියෙනව....
කුරුවා = අඩේ එහෙම කරන්න එපා බන්... අපිට ඉතිං උඹේ පිහිටක් ඇරෙන්න
වෙන කවුද ඕවගේ දෙයක් ගෙනත් දෙන්නෙ..
ලේනා = හා හා මේ බටර් ගාන්නෙ නැතුව හිටපල්ලා.... ඕනි නම් මම අම්මට
කියලා කරවල හොද්දක් හදල ගෙනත් දෙන්නම්.... තව එකෙක් කොස් තම්බගෙන
වරෙන්... වැඩේ ඉවරනෙ....
වෙලා = අන්න වැඩේ උඹ නියමෙට හොද්ද හදාගෙන වරෙන්... අපි කොස් ගෙඩියක්
තම්බ ගමු.....
මෙතෙක් වේලා කට වහගෙන සිටි මලයාට තවදුරටත් කට වසාගෙන සිටිය නොහැකි විය.... සත්ගුනවත් බාවයේ ප්රතිමූර්ථිය වූ මලයා කොලු නඩයේ දොල දුක වෙනුවෙන් පෙනී සිටියේ කොන්දේසි විරහිතවය.....
මලයා = හරි හරි උඹ හොද්දක් හදන් වරෙන්කො මම කොස් තම්බන්නම්.. අපේ
බෝඩිම ඉස්සරහා ගහේ කොස් නියමයි.....
වෙලා= හම්මට සිරි ඔය ඉන්නෙ දායකයො. එල එල මලයා ගින්දර වගේ කොසයක්
තම්බමු....
මලයා = එහෙනම් හෙටම වැඩේට බහිමු... මං හෙට උදේ කොස් ගෙඩියක් බාලා
තම්බන්නම්..... ලේනො උඹ හොඳ බොරේට හොද්දක් හදන් වරෙන්...
හපයා = යකෝ මලයො මෙතන දෙතුන් දෙනෙක් නෙවෙයි ඉන්නෙ.... දහයක්
දොලහක් ඉන්නවනෙ... උඹට කොස් ලියන්න ගියාම තරු පෙනෙයි...
කුරුවා= අම්මප ඔව් බන්.. මෙතන හෙන හැත්තක් ඉන්නවනෙ.... මං කියන්නම්
උඹට ලේසි වැඩක්.... දෙකට කපල තම්බමු.... කනකොට ඇටයි සිවිඩ්ඩයි අයින්
කරගෙන කන්න පුලුවන්නෙ......
වෙලා = අන්න හරි බන්.... වැඩි වෙලාවක් යන්නෙත් නෑනෙ බන්.... මලයා එහෙම
කරපං.... නැත්තං කොස් කන්න වෙන්නෙ හෙට රෑට තමයි..
මලයා = හරි මම එහෙනම් අද හවසට කොසයක් කඩන්නම්...
එදින සවස මලයාත් මමත් තරමක විශාල කොස් ගෙඩියක් කැඩුවේ උන ගසකින් සාදාගන්නා ලද කෙක්කකිනි.... හොඳට පැහී තිබූ කොස්ගෙඩිය කරගසා ගත් මලයාත් මමත් එය කුස්සියේ තබා නාගත්තේය.. පුරුදු පරිදි රාත්රියේ කුස්සියට ගොස් ආහාර ගැනීමෙන් පසුව කැරම් ක්රීඩාවේ නිරත වූ අප දෙදෙනා තරමක් වේලාසනින් බෝඩිමට පැමිනියේය... හෙට දිනට නියමිත මහා කොස් සංග්රාමය සඳහා වේලපහින් අවදි වීමට අවැසි නිසා මලයා ගොර අඳිමින් නිදාගන්නට විය.... පසුදා උදෑසන අප අවදි වනවිට තරමක් ප්රමාද වූවත් දනි පනිගා නැගිටගත් මලයා මාහට පැවසුවේ පන්ති කාමරයට යන ලෙසය....දෙදෙනාම එකම දවසේ නිවාඩු ගැනීම නිසා ලොක්කා උරන වනු ඇතැයි සිතූ මමද එයට එකඟ විය....
මලයා = ප්රසා උඹ පලයං පන්තියට... දෙන්නම නැති උනොත් බැනුම් අහන්න
වෙනව....
මම = හරි හරි මං යන්නංකො... උඹට පුලුවන්ද තනියම ඕක කරන්න....
මලයා = හරි හරි මම මේ වැඩේ කර ගන්නම් ගානට උඹ ගිහින් අරුන් එක්ක
වරෙන් එකොලහ දොලහ වෙනකොට....
යාන්තම් ඒ කරදරයෙන් නිදහස් වූවේය... කොහොල්ලෑ තවරාගෙන නටන දහර මංගල්ලය මලයාට බාර දී මා ගේට්ටුව අසලට යනවිටත් කොලු නඩය පැමින සිටියේ නැත.... මුර කුටියේ සමරෙ අය්යාගේ බුලත් මල්ලට බැස විටක් කමින් පාර අසලට වී සිටි මා එතැනින් නැගිට්ටේ බසය එනු දැකීමෙනි... කොලු රෑන බසයෙන් බැසගත් පසු මාද ඔවුන් සමග පන්ති කාමරයට ගියේ ලේනා රැගෙන විත් තිබූ කරවල හොදි භාජනයද කර තබාගෙනය... මඳක් ප්රමාද වී පැමිනි වසන්ත මහතා ලබා දුන් අභ්යාසය නිම කල අප හරියටම දහවල් දොලහ වන විට දිවා ආහාරය සඳහා බෝඩිමට පිටත් විය..... බෝඩිම ආසන්න වන විට මිදුලේ දැවැන්ත ලිපක් බැඳ දුම් වලාවකින් වැසී කොස් තම්බමින් සිටි මලයා දැකිය හැකි විය....අලියෙකු බැස්සවිය හැකි දැවන්ත මුට්ටිය අසල සිටි මලයා දැකීමෙන් ආදීවාසීන්ගේ කිරි කොරහ නැටුම සිහිපත් වුවද කොලු රැල කිසිත් නොකියා ගෙය පිටුපස කරාමය වෙත දිව ගියේ අත පය සෝදා ගැනීමටය....
මලයා= ඕන් උඹලට කන්න ලේසි වෙන්න දෙකට නෙවෙයි හතරටම කපල
තැම්බුවෙ..... හිටපල්ලා කෙහෙල් කොල කපල ඇත්තෙ අරන් එන්නං....
ප්රසා වරෙන් මේ කෙහෙල් කොල ටික අරන් යමන්.....
මලයාගේ අඬගැසීම නිසා මා කෙසෙල්කොල රැගෙන ඒමට ගෙය පිටු පසට ගොස් කෙසෙල්කොල අතට ගත්තා පමනි.... අමු තිත්ත කුනු හරුප වැලක් දෙසා බාන කුරුවාගේ හඬත් ඊට නොදෙවනි කොල්ලන්ගේ සිනාහඬත් නිසා අතට ගත් කෙසෙල් කොල එතනම බිම දමා මලයාත් මමත් මිදුල දෙසට දිව ගියෙමු... කොස් මුට්ටිය වටා එක් රැස් වූ කොල්ලන් කොක් හඬලා සිනා වෙනු දැකීමෙන් මාහට ඇතිවූයේ එසේ මෙසේ කුහුලක් නම් නොවේය.... වහා ඉදිරියට පැන ලේනාත් කුරුවාත් පසෙකට ඇද දමා දුම් දමමින් තිබූ මූට්ටියට එබී බැලීමෙන් සියල්ල අවබෝධ විය..... මලයා ඊයේ හැන්දෑවේ කැඩූ කොස්ගෙඩි පතය අටට කපා වහලු පිටින් මුට්ටියට දමා තම්බා තිබූ අතර වැඩි රසයක් ලබා ගැනීම සඳහා අජිනමොටෝ පැකට් දෙකකුත් එයට හලා ඇත.... දෙකට කපා තම්බමු යැයි කුරුවා කියූ රෙසපිය මලයා වැරදියට වටහාගෙන ඇත.... හදිසි අවස්තාවලදී මදුලු ගලවා ඇටය පිටින් දෙකට කපා කොස් තම්බනු අප ඕන තරම් දැක ඇත... පන්ඩිත කම නිසා මලයාට කෙලවිය... වහලු පිටින් මුට්ටියේ කොස් තිබෙනු දැක යකා තද වූ කුරුවා සහ හපයා කොලු රෑනගෙන් මුදල් එකතු කොට පාරට පැනගත්තේ දොලහමාරට පාරේ යන චූං පාන් ත්රීවීලරය අල්ලා ගැනීමටය... පැය කාලක් යෑමට මත්තෙන් මුලු විදුහලම සිද්දිය දැනගත් අතර මුරකුටියේ සිටි ජයන්ත අයියාත් කරුනෙ අයියාත් බෝඩිම දෙසට එනු දුටු මලයා වහා බාත් රූම් එකට රිංගා ගත්තේය......
පසුදා උදෑසනම මලයා දුටු වසන්ත මහතාට ඇති වූ සිනාව නතර උනේ දිනකීපයක් ගතවූ පසුවය... මලයා දකින වාරයක් ගානේ වසන්ත මහතා පැවසුවේ එකම එක දෙයකි.....
"" මලයා අපේ නෝනට උඹව බලන්න ආසයිලු.... වෙලාවක එක්ක එන්න කිව්ව..""
""ඒ මොකද සර් ඒ...""
"" නෑ අපේ නෝන දැකලම නැතිලු වහලු පිටින් කොස් තම්බන් කන හරකෙක්..."
"" අනේ මේ යන්ඩ සර් යන්ඩ...."" ඕක දැන් මදෑ..... 😂

2 comments:

  1. මලයා ලංකාවේ උපන් එකෙක් නෙවෙයි ද?නැත්තං උපන්ගෙයි මැටි හරකෙක්ද?😂😂😂😂😂

    ReplyDelete
  2. hinawela pana yanawa yaku.....

    ReplyDelete