Saturday, August 4, 2018

අරුම පුදුම බාස්ගෙ නූඩ්ලස් කෑම.....

ගැරිජ් රස්සාව විතරක් නෙවෙයි තවත් සමහර රස්සාවල් වලදි උද්ගත වන ප්‍රශ්නයක් තමා කෑම ප්‍රශ්නෙ.....කඩෙන් කනකොට ලැබෙන ප්‍රතිලාබ, බඩේ අමාරු පර්ස් එකට තට්ටු වීම, කටවල් දෙකක් කනකොට අතරින් පතර බත් ඇට දෙකක් තුනක් කැවීම , වගේ දේවල් නිසා ගරාජ් බාස්ලා සෑහෙන පීඩා විදින බව දන්නෝ දනිති...

කොහොමින් හරි අපේ වෙලාව හොඳ කම නිසා අපේ වැඩ පලේ දවල් කෑම එක ගෙදරින් එනවාය..බාසුන්නැහේගෙ නෝනා වලලු දාපු අත් වලින් උයන නිසා දවල්ට බඩ කොර වෙලා බුරිය උල් වෙන්න කාපු අවස්තා එමටය... ඒත් දරුනු ගැටලුව රෑටය.....රෑට විවිධ විකල්ප ඇත....කොත්තුමී නූඩ්ලස් සමග තැම්බූ බිත්තර, රෑ කඩෙන් ඉඳි ආප්ප විස්සයි පරිප්පු එක...නැත්තං මහත් බල ගුන ඇති කොත්තු රොටිය, එහෙමත් නැත්‍තං පට්ටලේ අයියගෙ හොට්ප්ලේට් එකේ නිශ්පාදිත ගොඩ හොද්ද සමග පාං බාගය..ගෙදර යන්න එන්න වෙලාව ඇති උනත් මහ දුරක් නැති උනත් ගැරිජ් එකේ ලෑලි ඇදේ ඇති උනුසුම මාව නවත්තාගත්තත් කෑම ගැටලුව විටෙක මහා වාතයක් විය...කෙසේ හෝ ගල් බනිස් ගෙඩියයි කහට කෝප්පෙන් ආරම්භ වූ කෑම රුචිය පසු කලෙක ඕනෑම වලං කටුවක් කෑම දක්වා දරුනු විය......

ඔන්න දවසක් මහ වැස්ස දවසක උඩ තට්ටුවෙ ඉන්න අපි තුන්දෙනා( මමයි පට්ටලේ අයියයි අපේ පාල අයියයි) රෑ කෑමට මොකද කරන්නෙ කිය කිය ඉන්නකොට පාලයා කියනවා කොත්තු මී කමු කියල.... දැන් ටවුන් යන්නත් බැරි නිසා පල්ලෙහා කඩෙන් කොත්තු මි පැකට් හයකුයි බිත්තර හයකුයි ගේමු කියල

ඌම යෝජනා කරල ඌම සල්ලි එකතු කරල ඌම තෙමි තෙමි ගිහින් ගෙනාව...

වෙලාවත් හරියාගෙන එන හින්දා මම කිව්ව මේ ටික හදල කමු කියල... කිව්වහම මූ කියනව උඹලා කාපල්ලා මම පොඩ්ඩක් පහලට ගිහින් එන්නං කියලා..මම කිව්ව එහෙනම් උබ ගිහින් වරෙන් මම උඹගෙ ටිකත් හදල තියන්නම් කියලා.. මූ කියනවා උඹල හරියට අතක්වත් හෝදන්නෙ නෑ ඕක තියපං මම හදාගන්නම් කියල....ඊට පස්සෙ උඹ කුද ගහගනින් කියල අපි දෙන්න පැකට් හතරක් බිත්තර හතරක් අරගෙන මේක හදාගෙන කෑව...මුගෙ පැකට් දෙකයි බිත්තර දෙකයි තියල තිබ්බ....අපි දෙන්න වැස්ස නිසා පොඩි කතාවක් දාගෙන ඉන්නකොට මූ ආවා පැයකට විතර පස්සෙ....ඇවිත් බලනකොට වතුර නිවිල... මම කිව්ව හීටරේ ගහල වතුර උනු කර ගනින් කියල...හීටරේ අතට අරං කෝප්පෙට දානකොටම ලයිට් ගියා ලයිට් ගියේ දෙතුන් පාරක් ගැස්සිලා නිසා ආයෙ එන එක ෂුවර් නෑ. දැන් ඌට වතුර උණු කරන්න විදිහක් නෑ මොකද හීටරේ විතරනේ තිබුනෙ...මූට දැන් කන්න හදා ගන්න විදිහක් නෑ. මූ ඉතින් බඩගිනියි කියල නාහෙන් අඬන නිසා පව් කියලා හිතිලා මම පල්ලෙහාට ගියා ගැරේජ් එකේ පල්ලෙහා ලිපේ ගින්දර තියෙනවද බලන්න.බලනකොට වෙලාව හොඳයි ගින්දර පොඩ්ඩක් තියෙනවා. මම ඉතින් වතුර කේතලේ ත් අරගෙන පල්ලෙහාට ආවා. ඇවිත් කෙතලේ ළිපේ තියලා ගින්දර පොඩ්ඩකුත් දාලා වතුර රත් වෙනකන් හිටියා.වතුර රත් වෙලා කේතලේ අරං මම උඩට යනකොට පඩිපෙළ පාමුල කුණු බක්කියට මොකක්ද වැටෙන සද්දයක් ඇහුණා. ඒත් එක්කම පාලයියා පඩි පෙළ දිගේ පල්ලෙහාට බැහැලා යන්න යනවා .කන්නේ නැද්ද බං කියලා ඇහුවහම දැන් ඕන් නෑ බං කියලා මූ තෙමි තෙමීම එහා පැත්තට ගියා. උනු කරපු වතුර ටික අපරාදෙ කියලා මම උඩට නැග්ග....උඩට ගිහින් බලනකොට නූඩ්ල්ස් පැකට් දෙකයි බිත්තර දෙකයි නෑ... බැලුව මේ දෙකට මොකද උනේ කියලා....පේන තැනක නෑ..උඩට නගිනකොට ඇහිච්ච සද්දෙ නිසා කොයිකටත් කියලා කියල පල්ලෙහා කුණු බක්කියෙ තිබිච්ච ෂොපින් කවරෙ අරන් බැලුවා..😂😂😂 නූඩ්ලස් පැකට් දෙක කඩලා ඒකෙ තියන කුඩු පැකට් දෙක දාගෙන අමුවෙන් කාල බිත්තර දෙක බීල පට්ටලේ අයියගෙ සිගරැට් බාගෙකුත් ඉල්ලගෙන තමයි මූ ගිහින් තියන්නේ.......ඔන්න ඔහොමයි ලයිට් ගිය වෙලාවෙ පාලයියා නූඩ්ලස් කෑවෙ.......😂😂😂😂😂 පසුදින ඉතිං මේක හැමෝම දැන ගෙන තිබුනා...

No comments:

Post a Comment