Wednesday, October 10, 2018

තෑගි ලැබුන විස්කි බෝතලේ



විවිධාකාර ස්ථානවලදී අපට විවිධ වීරයින් හමුවීම සාමාන්‍ය දෙයකි.....
විවිධාකාර ක්ශේත්‍ර වල විවිධාකාර මට්ටමින් පෙනී සිටින මම තමයි පොර යනුවෙන් කැපී පෙනෙන්නට උත්සාහ කරන අය අපට කොතෙකුත් හමුවී ඇත...
සාමාන්‍ය ජීවිතයේ අපට හමුවන මෙවැනි පුද්ගලයින් ෆෝම් කර පට්ට ආතල් ගන්න පුද්ගලයින්ද ඕනෑ තරම් ඇත.....මලයා පාලයා සහ තවත් ඉදිරියේදී ඔබ හමුවට ඒමට නියමිත පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් මේවැනි ආතල් ලෙසටම ගත් අතර මාගේ මතක පොතේ ඒවා ලියා ඇත...

කිසිවෙකු යමක් පවසනවිටම ආ මමත් ඕක කරල තියනවා.... මමත් එහේ ගිහින් තියනවා.... අයියෝ ඌත් ඕක ඉගනගත්තෙ මගෙන් යනුවෙන් පැවසීම මලසේකරයාගේ තියෙන කැතම පුරුද්දකි.....කට්ටිය වටවී ගෘප් චැට් දමාගෙන ඉන්නා වෙලාවක වෙන එකෙකුටවත් කතා කිරීමට ඉඩක් නොතියා කට දෙපැත්ත වන වෙනකම් කතා කිරීම මලයාගේ පුරුද්දය.....කිහිප විටකදීම මගෙත් වැඩ කීපයකටම හොස්ස දමා එක එක දේවල් කීවද කට පියාගෙන හිටියේ ඇනකොටා ගැනීමට යාමෙන් උදේට නැගිටගෙන ඉවීමට සිදුවන බව මා දන්නා නිසාය......

එක්තරා දිනෙක අප වර්ක්ශොප් එක වෙත කොරියානු භාශාව උගන්වන ගුරුවරුයෙකු පැමිනියේ ඔහුගේ වාහනය අලුත් වැඩියාව සඳහාය...... මලයාත් , වෙලා මල්ලීත් , කුරුවාත් , මමත් එක්ව සර්ගේ අනුදැනුම ඇතුව වාහනයේ සියලුම අඩුපාඩු සාදා නිම කලෝය....ඉතාම සුහද ලෙස අප සමග දිනදෙකක් වැනි කාලයක් ගත කල ඔහු අපගේ ඇසුර මිත්‍රත්වයකට පෙරලුනේ ඉබේටමය......වැඩි වයසක් නොමැති තරුනයකු වූ ඔහු අප වැඩ පල අසලින් යන සෑම දිනෙකම වර්ක්ශොප් එක වෙත ගොඩ වැදුනේ සුහද කතා බහකට එක් වීමටය...

එක් දිනෙක නගරයට ගොස් පැමිනෙන ඔහු පුරුදු පරිදි වැඩපලට ගොඩ වැදුනේය.....ඔහු එනවිට මා සිටියේ වැඩ පල ඉදිරි පිටය.....

ආ $%%%%& මචං මොකෝ වෙන්නෙ.....

මොනා වෙන්නද සර් ඔන්න ඔහේ හිටියා.....

මං මේ ආවෙ උඹලට පොඩි බඩුවක් අරං... හැබැයි පුතෝ මේවා කාටවත් කියනව නෙවෙයි හරිද......

හම්මට සිරි මොනාද ගෙනාවෙ කියන්ඩකො අගේ නොකර....

මට මේ රට ඉඳන් ආපු යාලුවෙක් දුන්නෙ විස්කි එකක්.... මම මේව පාවිච්චියක් නෑනෙ....උඹල නම් ඉතිං හොරාට ගහනවා ඇතිනේ....මම දන්නෙ නැද්ද උඹලගෙ හැටි.......

යකඩෝ සර් ඔයා මාර බඩුවක්නෙ ගෙනත් තියෙන්නෙ.....ඔන්න ඔහොම එපැයි ඉන්න.......ගජ බේබද්දෙක් වගේ ටෝක දැම්මට මමත් ඒවන විට කිසිම දිනෙක මත් පැන් පානය කර තිබුනේ නැත....අත් හදා බැලීමට නියම වෙලාව මේක තමයි කියා සිතූ මාද බෝතලය ගත්තෙ දාර බේබද්දෙකු ලෙසය....

හා හා ඕක උඹට තනියම දුන්න එකක් නෙවෙයි...අනිත් උන් එක්ක ගහපං හැබැයි මාව මාට්ටු කරන්න එපා ඈ....

හරි හරි ඔයා බය වෙන්ඩ එප ලොක්කා... මමනෙ වැඩේ කරන්නෙ....

හරි හරි ඕක දුන්නෙ එදා වාහනේ හැදුවට ඈ......එහෙනම් මං යනවා ඈ...කියූ චින්තක මහතා කාරයේ නැගී යන්නට ගියේය.........

වාසනාවකට මෙන් අප පන්තියේ සිටි උන් එකෙකු දෙන්නෙකු ඇරුන විට අනික් උන් බොන්නේම නැත.....බීලාද නැත.....(😂😂😂😂හිතාගන්නකො)

අප අතර සිටි වෙලා මල්ලී , කුරුවා , හපයා , මලයාද එක්කාසු කරගත් මා බෝතලය ගසන ආකාරය ගැන කියන්නට හදන විටම මැද්දට පැන්න මලයා උගේ වරුනාව පටන් ගත්තේය......බොන වීදුරුවේ සිට හපන බයිට දක්වාද , බොන ස්තානයේ සිට නිදාගන්නා ස්තානයද , වහා තීරනය කල මලයා එදා හවස් වරුව එයට යොදා ගත්තේ උගේම තනි අදහස උඩය........

හවස වරුවේ හපයා , කුරුවා සහ වෙලා මල්ලී ගෙවල් වලට ඇමතුම් දී සියල්ල බැලන්ස් කර එද රාත්‍රියේ බෝඩිමේ නවතින බව කිව්වේ අසල කඩයක ඇති දුර කතනයෙනි...වාසනාවකට මෙන් එදා වේලපහම පන්තිය ඇරීමට තීරනය කලේ ලොක්කාට කොහේ හෝ ගමනක්‍ යෑමට තිබූ නිසාය..බයිට් හැදීම වෙලා මල්ලි බාරගත්තේ ඌට මත්පැන් පිලිබද යම් දැනුමක් තිබූ නිසාය....වෙලාමල්ලී හපයා සමග බයිට සෑදූ අතර මාත් කුරුවාත් අනිත් සියලුම දෙ සූදානම් කලේ ග්‍රෑන්ඩ් පාටියකටය..මලයා එහෙට මෙහෙට යමින් අපගේ වැඩවල ගුනාත්මක බාවය පරීක්ශා කලේ හිල්ටන් එකේ මැනේජර් මෙනි.....සවස පහ වනවිට පාටිය පටන් ගත්තේ කුරුවා , වෙලා මල්ලි සහ හපයා නා ගැනීමෙන් පසුව මගේත් මලයාගේත් ඇදුම් වලින් සැරසීමෙනි..😂😂😂....... කිසි දිනෙක මත්පැන් පානය කර නොමැති මාගේද , හපයාගේද පලවෙනි සොට් එකෙන්ම කන් වලින් ගිනිපිටවන අයුරු දුටු මලයා අපදෙදෙනාට පට්ට කින්ඩියක් දමන්නට වූයේ වෙලා සහ කුරුවා සමගය.....

මේ බලපං කුරුවා , හපයට මූටයි එක දානකොට වැදිලා හයියෝ තොපි පිරිමිද හිටාංකො මං වගේ.......ඒ මලයාගේ හඬය.......

ඒකනෙ බලපං මලයා ගින්දර වගේ ඉන්න හැටි......යකෝ මේවද ගැහුවෙ අපි කියා අසමින් වෙලා මල්ලිද ඒවාට පොහොර දමන්නට වූයේ මට සහ හපයාට ඇසක් ගසමිනි......

වෙලා මල්ලී සහ කුරුවා මොකක් හෝ ප්ලෑනක් මත සිටින බව මට වැටහුනේය...
මුන් දෙන්නා මලයාගෙන් මොකක් හෝ සැර ආතල් එකක් ගන්නට සැරසෙනු දුටු මාද එයට සහබාගී වූයෙ හපයාට වැලමිටෙන් සංඥා කරමිනි... විනාඩි හතලිස් පහක් පමන යනවිට බෝතලයෙන් සැලකිය යුතු ප්‍රමානයක් අවසන් වූ අතර මට සහ හපයාට තරමක වෙරියක් තිබුනි....වෙලා සහ කුරුවාට එතරම් වෙරියක් පෙනෙන්නට නොතිබූ අතර මලයාගෙන් අමුතුම දර්ශනයක් පෙනෙන්නට විය..ගල් අරක්කු ගසන සැම්පලයට විස්කි ගැසු මලයා අඤ්ඤකොරොස් වී ඇති බව අපට පෙනුනත් ඔහු ඒවගක් නොඇඟවූයේ පටන් ගැන්මේදී දුන්න පොර ටෝක් නිසාය.....කෙසේ වෙතත් ලීටරයේ මත් පැන් බෝතලයෙන් බාගයක් අවසන් වූ පසු මලයා නැගිට්ටේ ටොයිලට් යෑමටය.....

ඒයි මලය තෝ කොහෙද යන්නෙ ඔය................

හිටං බන් කකක්ක්කුස්ස්ස්ස්සියයයයට්ට ගීඊඊඊඊල්ල්ලාආආආ එන්නං ඈ..

මචං මලයට වැඩියි ඈ.....

ඔකට තව පොවමු.......

කට වැඩියි ඕකගෙ.......

ප්‍රසා තොට වැඩිද.......

අවුලක් නෑ බන් සේප්........

හපයා තොට කොහොමද.......

මට්ට්ට එච්චර් අවුලක් ඥෑහ් බංහ්

මේ මලයට පොවමු ප්ලැට් වෙන්න.... හපයා උඹ වැඩිය ගන්න එපා ප්‍රසා උඹ ගානකට ගනින් මලයට් පොවමු

හරි හරි ඔන්න එනව සද්ද නැතුව වැඩේ දෙමු.........

මලයා අපිගියා ඊලඟ වටේ උඹට තියෙන්නෙ ගහපං බරදාලා උඹට වෙරියක් ඇත්තෙම නෑනෙ බන්...

යකෝ මං බොනක්ක්ක්කොට තොප්ප්පි එකෙක්ක්ක්වත් කොක්ක්ක්කාකෝල එකක්වත් බීල නැතුව ඇත්ති යකෝ...මම්ම්ම මේ පු‍ර්ර්රුදු වෙන්න්න්න්න බොන එකෙක් නෙවෙයි ඕයි...

කෙසේ හෝ බෝතලයේ අඩිය මතු වීමට පෙර මලයා නැගිට්ටේය....ඒදුටු කුරුවා කොහෙද යන්නෙ මෙහෙ හිටපං වාඩිවෙයං වාඩිවෙයං කියා පැවසුවත් කනකට නොගත් මලයා දුන්නෙ කන පැලෙන උත්තරයකි..........

යකෝ උම්ම්ඹලා දැන් ඔඳටම බීලනෙ ඉන්නෙ....කවුර්ර්ර්රු හරි ආවොත් කතාකරන්න එකෙක් සිහියෙන් ඉන්න එපෑහ්.....😂😂😂😂කියූ මලසේකරයා බංකුවක් පෙරලාගෙන පෙරේතයා පොලවේ ගැසුවා මෙන් ඇදගෙන වැටුනි...

දඩි බිඩි ගා නැගිටගත් අපි මලයාව නැගිට්ටවන්නට යනවිටම ඇද සිටි සරමත් අතට ගෙන මලයා නැගිට්ටේ සිදුවූ නව නිංගිරාව නිසාමය....බංකුවක් කවුද මෙතන තිබ්බෙ කියූ මලයා කුනුහරුප වැලක් කියමින් අවසාන සොට් එකත් කටේ හලා ගත්තේය......පොඩ්ඩක් හිටපං මම ලැට් එකට ගිහින් එන්නම් කියූ මලයා විනාඩි දහයක් ගත වුනත් ආපසු නොපැමිනීම අපට මහත් ගැටලුවක් විය..
ප්‍රමාදය බලා සිටීමට නොහැකි වූ අප සතර දෙනාම මලයා ව සොයන්නට විය...මුලින්ම ගෙය තුල වැසිකිලිය තුල සෙවූවත් මලයා පේන්නට නොවීය...මහා අනතුරක සේයාවක් අපට දැනෙන්නට විය.....ගෙය පිටුපස , වතුර ටැංකිය අසල , පාර ,යන සියලුම ස්තානවල බැලුවත් මලයා ආගිය අතක් නැත අපට හීන්දාඩිය දමන්නට විය.....කුරුවා එක් පැත්තකටත් වෙලා තව පැත්තක් හපයයි මායි තවත් පැත්තකත් වශයෙන් මලයා සෙවීමේ මෙහෙයුම දියත් කරන්නට විය.....

එක් වරම හපය අන්න බලපං කියා ගව ගාල දෙසට දුවන්නට විය...මමද ඌ පස්සෙන් දිව්වේය.....මලයා ඇඳ සිටි කමිසය ගවගාලට අඩි සීයක් දුරින් වැටී තිබී හමුවිය....මදක් ඉදිරියට යනවිට මලයාගේ සරමද හමුවීම නිසා මලයා මේ අසලම ඇති බව සිතූ අපි දෙදෙනා වෙලාටත් කුරුවාටත් අඬගැසුවෙමු....උන් දෙන්නාද පැමිනි පසු වට පිට විපරම් කර බැලීමේදී මලයා හමුවිය.....😂😂😂😂
ඇගේ නූල් පොටක් නැතුව ගව ගාලේ පිටුපස දොර අසල මලයා වැටී සිටියේය..
ගව මූත්‍රා ගොම සමග කලවම් කර සාදන ලද විශේශ ගැල්වුමක් මුලු ශරීරය පුරා තවරාගෙන වැටී සිටි මලයා ඇල්ලීම බඩේලිය ගිය හරකෙක් ඇල්ලුවා හා සමාන විය......කුරුවාත් හපයාත් මාත් මලයා ඔසවාගෙන විත් ගවගාලේ ටැංකියෙන් නාවන විටත් සිහියක් පතක් නැති මලයා අමු හෙලුමෙනි......ගොම ටික සෝදා සරම අන්දවා මලයා ගෙන ගොස් කාමරයේ ඇඳේ පතබෑවෙමු.......ඉන් පසු අපට තිබූ ලොකුම ගැටලුව මලයා හරක් ගාලට ගියේ කුමටද යන්නය......වෙරි බසිනතෙක් කල්පනා කලද විසදුමක් නොලැබීම හේතු කරගෙන අපද ආහාර ගැනීමෙන් අනතුරුව නින්ද ගියෙමු........වාසනාවකට ඒ දිනවල කැමරා පෝන් බහුලව නොතිබීම නිසා මලයා ලෝක ලැජ්ජාවකින් බේරුනේය....මලයා ඊට පසු තවත් එක් දිනක අරක්කු බිව්වේය.....එදා සිදුවූ දේ පසුවට ලියමි......

1 comment: