Monday, November 5, 2018

පාලගේ අලුත්ම ගැජට් එක.....


කාලයත් සමග ලෝකයේ දියුනුව ඉතාම සීඝ්රයෙන් ඉහල ගියේ මිනිසුන්ගේ එදිනෙදා වැඩකටයුතු පහසු කරන විවිධාකාරයේ උපකරන නිර්මානය කිරීමට මිනිසුන් දැක්වූ තරඟකාරීත්වයේ වේගයට සමානවය..... ලිඳෙන් වතුර ඇදීමට භාවිතාකල බොලොක්කය පැන්ශන් යවා කරලියට ආවේ වතුර මෝටරයය... ගලේ අපුල්ලා සේදූ රෙදි වොශින් මැශිමකට දමා බොත්තමක් තද කිරීමෙන් හේනෙ මාමලාත් රෙදි නැන්දලාත් හන්ටර් වී ගියේය.... මහා කලුගල් පාං පිටි තරමට කුඩු කල හැකි මැශිම ගල් වලේ සවි කිරීම නිසා සිමියොන් මාමා කුලුගෙඩියට සමුදී බක්කරේ පිටි අනන්නට ගියමුත් එතනට ආ ගෑස් පෝරනුව නිසා පාර අයිනේ කඩල කඩයක් දමාගත්තේය.. මල්පැන් පොදක් තොල ගා බන්ඩි කියතෙන් පලංචියේ ලී ඉරූ දෙමස්සිනෝ චේන් සෝ එකකින් බඩ වියත රැකගත්තේ පලංචියක් නොමැතිවය... හය හතර තේරෙන සමයේ සිට උදලු තලෙන්, දැල් කූඩෙන් , පතල් වලවල් සමග ඔට්ටු වූ පොඩිසිඥ්ඥෝ අයියා රත්නේ මුදලාලිගේ ගරන මැශින් එකේ ඔපරේටර් විය... දවසේ පඩියට සෙනග එක්කාසු කරගෙන කොන්ත්රාත් ක්රමයට ගොයම් කප්පවා බඩ වියත සරිකරගත් කලුමහත්තයා සුනාමි මැශිමක් මිලදීගෙන පිරිස විසුරුවා හැරියේ දෙබරෙට ගල්ගැසුවාක් මෙන්ය.... බත් මුට්ටිය ලිපේ තබා බත් වතුර පෙරා පොඩි එකාට පෙවූ ගුනවතී අක්කා රයිස් කුකර් එකේ හාල් දැමීම නිසා පොඩි එකා ටොනික් බීම වලට ඇබ්බැහි විය.... එක් පසෙකින් ලෝකයේ දියුනුව මිනිසුන්ට යහපතක් කිරීමට සමත් වූ අතර තවත් විදිහකින් මිනිසුන්ගේ කල්පනා ශක්තිය සහ දෑතේ ශක්තියට මරු පහරක් එල්ල කරන්නට සමත් විය....
හන්දියක් , හන්දියක් , පාරක් , පාරක් ගානේ හැට කැරෑලියක් වයර් ඇද මේසයක් මත විරාජමානව වැඩහුන් ටැලිපෝනයද , බයිබලය මෙන් විසාල දුරකතන නාමාවලියද බල්ලා මාක් එකට වැටුනේ කොල්ලා මෙන්ම බල්ලා අතද ජංගම දුරකතනය ගැවසෙන්නට වූ පසුවය.... මුල් කාලයේ නම් ගඩොල් කැටයක් සයිස් වූ ජංගමයෙන් කල හැකි වූයේ ඇමතුමක් ලබා ගැනීම සහ කෙටිපනිවුඩයක් යැවීම පමනි... පසුකාලීනව විස්ම කර්ම පුත්තරයා විසින් කැමරා , රේඩියෝ , ටැලි විසොන් පහසුකම , එකී නොකී සියල්ලම ඇතුලත් කර නිපදවූ ඉස්මාට් ජංගමය නිසා සමහරු හොම්බෙන් ගිය අතර සමහරු ලොම්බෙන්ද ගිය බව මා දැක ඇත්තේද ඔය කියන ඉස්මාට් පෝන් එකෙන්මය... අන්තර්ජාලය සමග සම්බන්ද වී ලෝකයම අතැඹුලක් සේ දකින්නට හැකි වූ අතර සමහරු ඉන් පල පොරෝජං ලබා ගත්තද වදුරු කුලයේ ගති පැවතුම් ඇති අය නම් එයින් උදා කරගත්තේ අබාග්ගය සම්පන්න කාලයක්ය...
කාලයක් ඩබල් වන් ඩබල් සීරෝ ජංගමයක් පාවිච්චි කල පාල අයියාටද ඉස්මාට් පෝනයක අවැසිතාව තදින්ම දැනෙන්නට විය.... දින කිහිපයක් තිස්සේ මුදල් එකතු කොට සුන්දර සැදෑ යාමයක ටවුමට ගොස් ස්පීකර් හැත්තෑවක් විතර සවිකර ඇති චයිනීස් ජංගමයක් මිලදී ගත් පාල අයියා ගරාජයට ආවේ රටක් රාජ්ජයක් හිමි වූවෙකු සේය.... මෙමරි චිප් එකක් හෙවත් මතක ගබඩාවක් ඇතුලත් කර සින්දු කිහිපයකුත් දමාගත් පාල අයියා දවසේ වැඩි හරියක් ජංගමය සමග පවුල් කන්නට විය.... පාලගේ ජංගම පවුල් කෑම කෙතරම් උස්මුරුත්තා වූවාද කිවහොත් පාල වැසිකිලියට ගියේද සිංදුවක් අසමින්ය.... කුමක් හෝ අනවශ්ය මගුලක් ඔබා සෙටින්ග්ස් අවුල් වී පිස්සු කෙලින්නට වූ ජංගමය රැගෙන එන පාලයියා එය නැවත සකසා ගන්නේ මාගේ උදව්වෙනි.... මේවන විට විවාහ වී සිටි පාල අයියා තම බිරිදට වඩා ජංගමයට පෙම් බැන්දේ ඇයි දැයි මටනම් නොවැටහුනේය...

භ්රමන පරිභ්රමන මූල ධර්මයට අවනතවී පෘතුවිය කැරකී කාලය ගෙවී යන්නට විය... කාලයක් තිස්සේ අතුරුදහන් වී සිට නැවතත් එක්වරම කරලියට පැමිනි චරිතයක් වූ ගැජට් මාමා දිනක් ගරාජයටද ගොඩ වූයේ වැඩ රාජ කාරී ඉතාම අඩු දවසකය... ගැජට් මාමා යනු නිතර නිතර පිටකොටුව පැත්තේ හක්කලං කල මැදි වයසේ අහිංසක මිනිසෙක්ය.... ඔහුගේ රැකියාව වූයේ පිටකොටුවේ තිබෙන්නාවූ විවිධාකාරයේ උපකරන අඩු මිලට මිලදීගෙන ඒවා අප ප්රදේශයේ ගෙයින් ගෙට ගොස් විකිනීමය.... දුරබලන කන්නාඩි , චාර්ජ් කල හැකි විදුලිපන්දම් , පොකට් රේඩියෝ , ගෑස් පිරවිය හැකි ලයිටර් , රිමෝට් කාර් , සාක්කුවේ දමාගෙන යා හැකි බහුකාර්ය උපකරන, පිරුනු මල්ලක් රැගෙන ආ මාමාට සෑම තැනකින්ම ලැබුනේ ඉහල පිලිගැනීමකි... උදෑසනම මල්ලත් අරන් එලියට යන මාමා දහවල් වන්නට පෙර මල්ල හිස්කර ගන්නා අතර සමහරුන්ගේ ඕඩර්ද බාර ගන්නේ දිනක් දෙකක් ඇතුලත ඒවා ගෙනවිත් දෙන බවටද පොරොන්දුවක් සමගින්ය.... කෙසේ හෝ එදා ගැජට් මාමා රැගෙන විත් තිබුනේ සිත් ඇදගන්නා සුලු අපූරු වස්තුවක්ද සමගිනි.... එනම් කොකාකෝලා ටින් එකක පෙනුම ඇති කුඩා ප්රමානයේ රේඩියෝවකි.... විදුලියට සම්බන්ද කර චාර්ජ් කිරීමෙන් පසු මෙමරි කාඩ් පතක් දමා ගීත ඇසිය හැකි මෙම අපූරු ගැජට්ටුවේ මිල රුපියල් දාහක් පමන උවද සියල්ලෝම එක බැගින් මිලදී ගත්තේ එහි තිබූ හුරුබුහුටි කම නිසාමය.....පාල අයියාටද හිටිගමන් ඇතිවන්නේ අරුම පුදුම ආශාවන්ය.... දෙතුන් දෙනෙකු එය මිලදීගන්නා අයුරු දැකීම නිසා පාලායියාටද රේඩියෝවක් මිලදී ගැනීමට සිත්විය... සාක්කුවට අතදමා සල්ලි කොල කිහිපයක් ගෙන මාමා අතට පත්කල පාලයියාද හුරුබුහුටි රේඩියෝවේ හිමිකාරයෙක් ව්ය... ශොපින් උරයක දමා රේඩියෝව බිත්තියේ ඇනයේ එල්ලා තබා වැඩෙහි යෙදුනු පාල අයියා හවස් වරුවේ නාගැනීමෙන් පසුව එය අතට ගත්තේය.... කඩයට ගොස් ආපසු එමින් සිටි මාදුටු පාල අයියා රේඩියෝවද රැගෙන මා අසලට පැමිනියේ එය ක්රියා කරවන ආකාරය දැන ගැනීමටය.... පාලගේ ජංගමයේ තිබූ මෙමරි කාඩ් පත ගලවා ප්ලේයරයට ඇතුලත් කර දෙතුන් වරක් ක්රියාකරවීමෙන් පසු පාලට එය වටහා ගත හැකිවිය.... රටක් රාජ්ජයක් ලැබූවෙකු ලෙස මහත් ආඩම්බරයෙන් රේඩියෝවද මල්ලක දමාගෙන පාලයියා ගෙදර බලා පිටත්ව ගියේය..... මාද නාගැනීමෙන් අනතුරුව කෑම ගෙනවිත් පට්ටලයා සමග කදයක් දමාගෙන සිටියේ රාත්රී කාලය එලඹෙන තෙක්ය.... රාත්රී අට හමාර නවය වන විට අහාර ගෙන අවසන් වූ පට්ටලයාත් මමත් විසිරී ගියේ හෙට දින කිරීමට ඇති රාජකාරී පිලිබඳ සමාලෝචනයක යෙදීමෙන් අනතුරුවය..... ඇඳට ගොස් ඇලවී පැය කාලක් හෝ විනාඩි විස්සක කාලයක් නින්දත් නොනින්දත් අතර සිටි මාහට කවුරුන් හෝ පඩි පෙල දිගේ උඩට ගොඩ වන ශබ්දය ඇසෙන්නට විය.....
තත්පර ගනනකින් කුඩා මල්ලකුත් රැගෙන පාලයා මා ඉදිරියේ පෙනී සිටියේ ශෝකාකූල වූ මුහුන බිමට එල්ලාගෙනය.... පුක් මූන දමාගෙන සිටි පාලයාගේ කහපැහැති කමිසයේ තිබූ වලං දැලි පහරත් , ඉඳුල් ගඳත් , වම් ඇසට උඩින් නලලේ තිබූ ඉදිමුම් පාරත් මාගේ සිත කලඹවා හැරියේය.... දැවන්ත ප්රහාරයකට ලක්වූ සේයාවක් පාලගේ දෙස බැලීමෙන් මට අවබෝධවිය.... සිදුවූ දෙය වටහා ගැනීමේ ශක්තියක් මා සතුව නොතිබින... මා දෙස තත්පර කීපයක් බලා සිටි පාල අයියා ඇඳ මතින් වාඩිවිය.... බෑග් මල්ලේ තිබූ කැඬී බිඳී ගිය අලුත්ම රේඩියෝව මේසය මතින් තැබූ පාල අයියා දිග සුසුමක් හෙලීය.... පාල අයියා දුටු මාහට අවබෝධ වූ එකම දෙය නම් නැවත වතාවක් විශාල සී අයි ඩී ගේමක් සැලසුම් කල යුතු බවය.... සෙනිකව මවාගත් චිත්ත රූපයක් මගින් පාලයාගේ මනස කලම්බවා නැගූ ප්රශ්න වලට ලැබුනු උත්තරයෙන් මාහට සෑහීමට සිදුවිය..
""තෙමිච්ච සෙරෙප්පු දෙකත් දාගෙන මම කුස්සියට ආවා බන්.... පාපිස්සෙ කකුල පැටලිලා මාව ලිස්සපු පාර වැටුනෙ බිම තිබිච්ච හොදි ඇතිලිය උඩට.... අතේ තිබිච්ච රේඩියෝ එක බිමට හිටියා ඒක උඩට මූන හිටියා ඔක්කොම කුඩු උනා බන් ""යනුවෙන් පැවසූ පාල අයියා ලෑලි ඇඳේ හාන්සි විය...
"" හරි ඉතිං උඹ දැන් කඩාගෙන බිඳගෙන මෙහෙ ආවෙ ඇයි.... ඕක පොඩි සීන් එකක් එකක්නෙ බන්....""
පාලයා නිහඬය... එකම ප්රශ්නය දෙතුන් වතාවක් ඇසුවද එය කනකට නොගත් පාල අය්යා ඇදුම් උනා සරමක් ඇඳගත්තාය.... බෙඩ් ශීට් එක ගෙන ඇඳ ගසා දමා පාල අයියා නිදාගන්නට විය... සිදුවූ දෙය පිලිබද කිසිවක් සිතා ගත නොහැකි වූ මාද මඳ වේලාවක් කල්පනා කරමින් සිට නිදාගත්තේ හෙට දින මේ ගැන සොයා බැලීමේ අරමුන සිතේ තබාගෙනය.... පසුදිනට පහන් වී දෛනික වැඩ සටහනට වැඩ පටන් ගත්තද පාලයාගේ කටින් යමක් දැනගැනීමට ක්රමයක් සොයාගත නොහැකි විය... සුපුරුදු පරිදි වැඩ අධික දිනයන් දෙකක් ගෙවී ගියේ පාල අයියාටත් මටත් පට්ටලයාටත්, අනෙකුත් දෙදෙනාටත් හුස්ම ගැනීමටවත් ඉඩහසරක් නොමැතිවය.... එම දින දෙකේම පාලයා ගෙදර නොගිය අතර ලැලි ඇඳේ සුවය විඳිමින් නිදා ගත්තේ ගෙයක් දොරක් නොමැති එකෙකු සේය....
කෙසේ හෝ තුන්වන දිනයේ හවස් වරුවේ ටවුමට ගිය මා දුටුවේ පාල හාමිනේ සිය යෙහෙලියකුත් සමග නගරයේ කඩයකින් එලියට එන අයුරුය.... පාල හාමිනේ දුටු සැනින් පාලට සිදුවී ඇති හදිය සොයා ගැනීමට අදහස් කල මා පාල හාමිනේට අතින් සන් කලේ පාරෙන් මෙහා පැත්තට එන ලෙසය... යෙහෙලියත් සමග පාර මාරුවී පැමිනි පාල හාමිනේ ලොතරැයි කූඩුව පිටුපසට ගොස් නතර විය.... සැනෙකින් ගන දෙවි නුවන පහල වූ අතර සිද්දිය කටින්ම අල්ල ගත හැකි ක්රමයක් කල්පනා වූයේය... බයිසිකලයෙන් නොබැසම පාල හාමිනේ අසලට ලං වූ මා...
මම -: "" මොකද අර මනුස්සයට ගහල පැන්නුවෙ.... අන්න අරෙහෙ කන්නෙත්
නැතුව කල්පනා කර කර ඉන්නවා...
පාල හාමිනේ ගැටයට අසුවූයේය....
පාල හාමිනේ -: ""ගහල පන්නන්න... ගහල පන්නන්න නෙවෙයි තියෙන්නෙ කරන වැඩ වලට...
මම -: ""හා හා මේ මට ලොකු ලයින් දෙන්න එපා.... ඒවා පාලත් එක්ක තියාගන්ඩ...
හරි ඔක්කොම හරි කියමුකො දැන් මොකක්ද අරූ කරපු වැරැද්ද......
පාල හාමිනේ -: ""වැරැද්ද.. වැරැද්ද තමා පිරිමි ඔක්කොම එකයි....
මම --: නංගි මේ ඔයා පිරිමි ඔක්කොම එකයි කියන්නෙ ඔයා හැම එකා එක්කම --
නෑ නෑ එක්කො ඒව ඕන නෑ.. දැන් කියනවද හරියටම වෙච්ච දේ...
තරමක් කේන්ති ගොස් සිටියද පාල හාමිනේ සියලු විස්තර මා සමග පැවසූ අතර
සිද්ධිය ඇසූ මාහට සිනාව නවතා ගත නොහැකිවිය.. මාගේ සිනාව නිසා උරන වූ පාල හාමිනේ යෙහෙලියගේ අතින් ඇදගෙන යන්නට ගියේ මටද කෝපයෙන් බැන වැදීය... ආපසු ගරාජයට ගිය මාසිදුවී ඇති ජංජාලය ලොක්කාට පැවසීමෙන් පසු ලොක්කාද බඩ අල්ලාගෙන සිනාසෙන්නට විය...

1 comment:

  1. දැන් මේක කතාවෙ අවසානයද, නැත්නම් අනිත් කොටස ඉදිරියට කියල දාන්න අමතක උනාද?
    හැම දාම වගේම අපූරුවට ලියල තියෙනව . බොහොම ස්තුතියි.

    ReplyDelete