Sunday, November 4, 2018

කෙල වීම කලාවක් නම් එහි පිකාසෝ පාලයාය... මලයා එහි මයිකල් ආන්ජිලෝය.

කෙල වීම කලාවක් නම් එහි පිකාසෝ පාලයාය... මලයා එහි මයිකල් ආන්ජිලෝය... පමනට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත කිව්වාට පාලයාට නම් එය අදාල නැත.... කන්න ගිය විට කබරගොයාත් තලගොයා කරගන්න පාලයා ඉල්ලන් පරිප්පු කෑ අවස්ථා එමටය..... තැනක් නොතැනක් නැතුව කරගන්න දේවල් වලින් පාලයා නාන විට සබන් සහ තුවා සැපයීම මාත් පට්ටලයාත් ආසාවෙන් කල රාජ කාරියක් විය.... කෑමෙන් බීමෙන් පමනක් නොව ඇඳුමෙන් පැලදුමෙන් පවා පාලයා අපව සිනාගැස්සුවේ චාලි චැප්ලින්ටත් වඩා හැකියාවෙන් අනූනවය.... රාජකාරී වෙලාවට අමතරව සවස් යාමයේදීත් මහන්සි නොබලා ගැලරිය පිනවූ පාලයියා මෙදා පොටේ අපූරුම ආතල් එකක් ගත්තේය.......
ගරාජය යනු එක්තරා ආකාරයකින් විශ්ව විද්‍යාලයකි... බොහෝ විට ගරාජය තුල දකින්නට ලැබුනේ රියදුරු රැකියාව කරන ඇසූ පිරී තැන් බහුල සමාජ දැනුමේ කප් ගැසූ එවුන්ය... දිනකට කිලෝමීටර් දෙතුන් සීයක් රිය පදවමින් රට වටේ දුවන උන් මෙන්ම අහල පහල ගම්වටේ කරක් ගසමින් සියල්ල පිලිබද හසල දැනුමක් ඇත්තෝ ගරාජයට නිතර පැමිනීම නිසා අපට ලැබුනේ සුලුපටු දැනුමක් නම් නොවේය..... පාල අයියාද ඔවුන් සමග හරි හරියට කදේ දමාගෙන සිටින්නේ මහා ලොක්කෙකු ලෙසය... වචනයෙන් දෙකෙන් පාල අයියා කවුදැයි ඔවුන් අවබෝධ කරගන්න අතර ආතල් එකක් ගැනීමේ අභිලාශයෙන් ඔවුන්ද පාල අයියා ෆෝම් කරන්නේ කාලය ගෙවා ගැනීමට හොඳම අවුසදය එය බැවිනි..
එදින පාලයා නිවාඩු දැමූ දිනයක් විය.... කාගේ හෝ අත්‍යාවශ්‍ය වැඩකට ගරාජයෙන් පිට වී සිටි පාල අයියා හවස් වරුවේ ආපසු එනවිටත් ගරාජය වසා තිබුනේ නැත... එදින වැඩ බහුල දිනයක් නොවූවත් හවස් වරුවේ ගරාජයට ආවේ මොනරාගල සිට අගනුවර දෙසට කුලී ගමනක් ගිය ලොරියක්ය.... මංගල්ලයක දෑවැද්ද රැගෙන ගිය මෙම ලොරි රාජයා අපගේ ගරාජය ආසන්නයේදී ගෑස්කට් ගොස් ඇත... ධාවනය කල නොහැකි මට්ටමට වාහනය දුර්වල වීම නිසා ඔවුන් ගරාජයක් සොයන විට අපගේ වැඩපල ගැන ඔත්තුවක් ලැබී ඇත... සෙමෙන් සෙමෙන් වාහනය ගරාජයට දක්කාගෙන එනවිට වේලාව සවස හතරට පමන විය.... හෙට දිනයේ අත්‍යාවශ්‍ය ගමනක් යෑම නියමිතව තිබීම නිසා ඔවුන්ගේ අභිලාශය වූයේ ලොරිය කෙසේ හෝ යතා තත්වයට පත් කර ගැනීමයි.. හවස් වරුවේ ලැබෙන උලුක්කු බාර නොගැනීම ලොක්කාගේ තීර්නය වුවත් අසරන වී සිටි රියදුරු මහතා දැකීම නිසා මා වැඩය බාරගත්තේ ලොක්කාගේ මරන තර්ජන මැදය.... ""උඹට ඕනි එකක් කරගනින්"" කියා ගරාජයේ යතුර මා අතට පත්කල ලොක්කා පහමාර වන විට ගෙදර යන්නට ගියේය.... වහ වහා ලොරිය ගරාජය ඉදිරි පස මිදුලේ නවත්වා ගත් මම ගෑස්කට්ටුව ගැලවීමට සූදනම් විය.... ඒ වන විටත් වේලාව හතර හමාර වී තිබුනු අතර පහමාර වන විට ගෑස්කට්ටුව ගලවා අවසන් විය..... අවශ්‍ය කරන අඩුම කුඩුම ලිස්ට් එකක් සාදා මාතලී අතට පත් කල මා ඔහුව ගලබඩයාගේ ආටා එකට ගොඩ කරවා යැවුවේ අසල නගරයටය....
(ගෑස්කට් ගියා කියන්නෙ ගෑස්කට් එක සවුත්තු උනා කියන එක..කාන්තාවන්ගේ අවධානයට..)
අමතර කොටස් රැගෙන එනතුරු පොඩිමල්ලීට එන්ජිමේ අදාල කොටස් පිරිසිදු කිරීමේ කාර්ය බාරදුන් අතර මා ලොරියේ පැමිනි අනෙකුත් සාමාජිකයින් සමග කතා බහක යෙදෙන්නට විය..... ආගිය තොරතුරු කතාකිරීමෙන් අනතුරුව ඔවුන්ගේ තීරනය වූයේ මා ලොරිය සවිකරන තෙක් මදුවිතක රසය බැලීමටය.. වහ වහා පොල්ලෙල්ලාගේ ත්‍රීවීලයට ගොඩවූ ඔවුන් දෙදෙනා ටවුමට ගොස් හතරැස් බෝතලයකුත් බයිටුත් රැගෙන ආපසු ආවේය.... ගරාජයේ අයිනක යකඩ බංකුවක බෝතලයත් බයිටුත් තබාගෙන මදුවිත පානය ඇරඹූ මිතුරන් දෙදෙනාට වැඩි වේලාවක් කාරිය කරගෙන යාමට වෙලාවක් නොවීය.... එතනට පාලයා කඩා පාත් වූයේය..... කඩා තිබූ අරක්කු බෝතලය දිහා කෑදර බැල්මක් හෙලූ පාලයා ඔවුන් සමග කතාවට වැටුනේ කලක සිට දන්නා හදුනන අයවලුන් ලෙසය... පාලයා එන්නෙ මොකාටදැයි දැනගත් පරිත්‍යාගශීලී මිතුරන් දෙදෙනා පාලට කට කපා ශොට් එකක් වත්කර අතට දුන්නේය... එයින් තවත් ගැම්මක් ආ පාල අය්යා කට දෙපස වන වෙන තුරු කියවන්නට විය.... පාලගේ ආතල් විස්තර නිසා මඥ්ඥං වූ දෙමිතුරෝ තවත් බෝතලයක් ගෙන ඒම සඳහා පාලයා පිටත් කර ඇරියේ අතට මුදල්ද ලබාදීමෙන් අනතුරුවය.... කාගේ හෝ ත්‍රීවීල් කටුවක නැගී ටවුමට ගිය පාල අයියා බෝතලයක් රැගෙන ආපසු ආවේ විනාඩි ගනනකින්ය..... නැවතත් මිතුරන් සමග එක්වූ පාල අයියා කට කපා අරක්කු ගසන අයුරු මා බලා සිටියේ වැඩකරන අතරතුරදීය.... රාත්‍රී හත වන විට අමතර කොටස් රැගෙන ඩ්‍රයිවර් ලොක්කා පැමිනි අතර මාද වහ වහා ඇන්ජිම සවි කරන්නට විය... දන්න දේත් නොදන්න දේත් කටට එන ලෙස ඇද බාමින් පාලයාද දෙමිතුරන්ගේ අරක්කු බෝතලයට වැඩේ දෙන්නට විය.. ඇට්ට කුනා වෙන තරමට වෙරිවී සිටි පාල අයිය දෙතුන් පාරක් ඇදගෙන වැටුනත් අරක්කු බෝතලය අමතක නොකලේය.... චිකන් ඩෙවලුත් මුරුක්කුත් සමග අරක්කු ගුදමක් පානය කර සිටි පාල අයියා ටික වේලාවකින් උන් තැනම නිදාගන්නට විය.... ඒ වන විට මාද ලොරිය සවිකර අවසාන විය.... නැවත වාරයක් එකින් එක පරීක්ශා කල මා රේඩියේටරයට වතුරද පුරවා එන්ජිම ස්ටාට් කල අතර පොඩිමල්ලී ආවුද සියල්ල පිරිසිදුකොට අස්පස් කර ගරාජය වසා දැමුවේය.... ටික වේලාවක් වාහනය ස්ටාට් කර තබා එන්ජිමේ තත්වය පරීක්ශා කල මා එහි අඩුවක් පාඩුවක් නොවූ බැවින් දාවනයට සුදුසු බව තීර්නය කලේය.... ලොක්කාට ඇමතුමක් ලබා දී ගනන් හිලව් බේරා සියල්ල අවසන් කල අතර ඩ්‍රයිවර් ලොක්කා හිත සතුටින් රුපියල් දහසක සන්තෝශමක්ද මා අතට පත් කලේය... මාගේ ජංගමයේ අංකයද ඉල්ලා ගත් ඔහු නැවත මේ ප්‍රදේශයෙන් ගමන් කලහොත් ආපසු එන බව පවසා ලොරියට නැග ගත්තේය..... බමන මතින් ගුවන්ගත වී සිටි දෙමිතුරෝද අනෙක් පසින් ලොරියට නග්ගවා ගෙන ඔවුන් ගමන් ඇරඹූ අතර මාද පොඩි මල්ලීද නාගෙන උඩ තට්ටුවට රිංගා නිදාගත්තේ රාත්‍රී එකොලහටත් පසුවය.....
පසුදා ගරාජය විවෘත කරන විටත් පාලයා ආපසු පැමින සිටියේ නැත. දහවල් එකොලහ වන විට පාල අයියා කොහේදෝ සිට හොඳටම හෙම්බත් වී පැමිනි අතර අපට මුහුනදීමටද එතරම් කැමැත්‍තක් දැක්වූයේ නැත..... දින දෙකක් වැඩට නොපැමිනීමත් ලොක්කාගේ බැනුම් නිසාත් එසේ වන්නට ඇතැයි සිතූ අප කිසිවක් නොවූ ගානට වැඩෙහි යෙදෙන්නට විය... එදින දවසම උඩ තට්ටුවේ ලෑලි ඇඳේ නිදාගත් පාල අයියා සවස හයට පමන අවදි වී නාගත්තේ කලකට පසුවය..... නෑමෙන් පසු කලිසමක් කමිසයක් ඇඳගත් පාල අයියා පාරට බැස කොහේදෝ යන්නට ගියේය..... මාද සවස වැඩ අවසන් වී කෑම රැගෙන ඒමට බයිසිකලයට ගොඩවූ මුත් එයට තරමක බාධාවක් වූයේ ජංගමයට නොදන්න අංකයකින් පැමිනි ඇමතුම නිසාය....
මම = ""හෙලෝ.... කවුද මේ.....""
ලොරිඅයියා = ""ආ මල්ලි මම මේ ඊයෙ ලොරිය හැදුවෙ ඒකෙ ඩ්‍රයිවර් අයියා කතා කරන්නෙ..""
""හප්පට සිරි අයියෙ මොකෝ අවුල ආයෙ ලෙඩේ ආවද...."
""නෑ නැ මල්ලි ලොරියෙ නම් අවුලක් නෑ.... ඒත් වෙන අවුලක් උනානෙ...""
""ලොරියෙ අවුලක් නැත්නම් කමක් නැ.... ඉතිං කියන්ඩකො මොකද්ද අවුල....""
""මේකයි මල්ලි ඊයෙ රෑ පොඩ්ඩක් පරක්කු වෙලා තිබුන හන්දා මාත් ටිකක් ""
පාගලාම ආවා... ""මොකද අදත් හයර් එකක් බාර අරගෙනනෙ තිබ්බෙ... එක
පිම්මටම මොනරාගලටම ආවා.... නිදිමත වගේ පොඩ්ඩක් ආපු හින්දා ටවුන් එකේ
කඩේක නවත්‍තලා ප්ලේන්ටියක් බිව්වා.... ප්ලේන්ටියත් බීලා ලොරියට නගින්න
හදනකොටම පිටිපස්සෙන් සද්දයක් ඇහෙනව.... මොකක්ද කියල හිතාගන්න
බැරුව පිටිපස්සෙ බොඩියෙ දොර ඇරල බලනකොට අර අපේ දෙන්න එක්ක ඊයෙ
හොඳටම බිව්ව හාදයා ලොරිය ඇතුලෙ ඉන්නවා වැනි වැනි....
මම = ""මල හත්තිලව්වයි යකෝ මූ මොනරාගල ගිහිල්ලද..... එතකොට ඒක
තමයි මූ ආගිය අතක් නැතිව හිටියෙ... අපි බැලුවා කෝ යකෝ මූ කියල....""
ලොරි අයියා = ""ඔව්නෙ මල්ලි මල මගුලක් වෙන්නෙ... මේ යකාට ඒ වෙනකොටත්
සිහියක් පතක් නෑ වෙරි හොඳටම... අම්මපා මල්ලි දෙයියෙක් වගේ ඊයෙ කරපු
උදව්ව නිසා මේ යකා මග දාලා යන්න භිතුනෙම නෑ අපිට....
මොකෙක් උනත් මනුස්සයෙක්නෙ කියලා මම දන්න කඩයක් ගාව නවත්තලා
ඒකෙ හිටපු නාට්ටාමියෙක්ට කියලා මූව කඩේ පිටිපස්සෙ නිදිකරවලා
හතහමාර බස් එකේ නග්ගවලා යවන්න කියලා ආවා... අතේ සතපහක් නෑ...
රුපියල් තුන්සීයක් කඩේ මල්ලිට දීලා මම ගෙදර ගියා....
මම = ""මල හත්තිලව්වක්නෙ අයියෙ වෙලා තියෙන්නෙ ඔහොම දෙයක් ගැන මූ
කිසිම දෙයක් කිව්වෙ නෑ මාත් එක්ක...
ලොරිඅයියා = "" රෙද්දක් ඇඳගෙන කියන්න පුලුවන් එකක්යැ මල්ලි වෙලා
තියෙන්නෙ...මූට මොකක් හරි උනානම් මමත් හිරේ යනවා...
පාල අයියාට සිදුවී ඇත්තේ එසේ මෙසේ අකරතැබ්බයක් නොවේය.... ලොරියේ අයියා මා ලොරිය සවිකරන අතරවාරයේ ලොරියේ පිටුපස තිබූ දොර ඇර එහි දමා තිබූ ස්පෙයා වීල් එක එලියට ගත්තේය.... අසල තිබූ ටයර් කඩය වෙත එය රැගෙන ගොස් ඇත්තේ සුලං පිරවීමටය... කුනු පෙරේතකමට පින් අරක්කු බීම නිසා පාලයාට හොඳටම වෙරි විය.... යන එන තැනක් සොයාගන්නට නොහැකි වූ පාලයා ලොරියට ගොඩවී ඇත්තේ උඩ තට්ටුව යැයි සිතාය.... ලොරි බොඩියේ මැද තිබූ කාර්ඩ් බෝඩ් ගොඩට පතබෑවුනු පාලයාට සිහියක් පතක් නොවීය.... අරක්කු තුනකාලක් පමන බී සිටි පාලගේ සිහිය විකල් වී තිබුනේය.... ලොරි බොඩිය ඇතුලේ කවුරුන් හෝ ඉන්නවාදැයි නොදත් ලොරි අයියා ටයරය නැවත පටවා දොර වසා දැම්මේය..... ස්වල්ප වේලාවකින් සාදා නිමකල ලොරිය පිටත්ව ගියේ පාලයාවත් රැගෙනය.... ශරීරයට උහුලාගත නොහැකි වෙරි මත නිසා පාලට ලොරියේ ගැස්සීම එතරම් අවධානයකට ලක් වූයේ නැත.....
ලොරිය මොනරාගලට ආසන්නවන විට පාලගේ සිහිය සෙමෙන් සෙමෙන් එලඹී ඇති අතර කාඩ් බෝඩ් ගොඩේ වමනය දමා නන්නත්තාර වී සිටි පාල අයියා ලොරිබොඩියට ගසා ඇත්තේ කවුරුන් හෝ අහලක පහක ඇතැයි සිතාය....
සිදුවූ සියල්ල නියම ගානට පෙලගස්වාගෙන ලොක්කාට පැවසූ අතර ලොක්කාද බඩ අල්ලාගෙන සිනාසුනේය.... ලොක්කා ඉදිරිපිට ""කොහොමද මොනරාගල ගමන"" කියා ඇසූවිට යකා තද වූ පාලයා ඇසුවේ එකම එක දෙයකි... ""කොහොමද යකෝ තෝ මේවා හරියටම හොයාගන්නෙ"" කියා පමනකි....මසකට පමන පසු අගනුවර බලා කුලී ගමනක් ගිය ලොරිඅයියා මාව මුනගැසීමට පැමින තිබුනේ ආපසු යන අතර තුරදීය.... ලොරි අයියා ගරාජයෙන් ඇතුලට එනවාත් සමගම පාල අයියා කොටතාප්පයෙන් පැන අතුරුදහන් වූ ආකාරය නම් අපූරුය....

1 comment:

  1. පාලයා මොනරාගල ගියා වගෙයි...

    ReplyDelete